දන්සැල් පැවැත්වීමට අදාළ නිර්ණායක 6ක්

(කොළඹ, ලංකාපුවත්) – එළැඹෙන වෙසක් සමය වෙනුවෙන් දන්සැල් පැවැත්වීමට අදාළ නිර්ණායක 6ක් බුද්ධ ශාසන අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කර තිබේ.

ඇතැම් ආයතන, සංවිධාන හා පුද්ගලයින් දන්සැල් පැවැත්වීමේ මුවාවෙන් වංචනිකව මුදල් රැස් කරන බවට තොරතුරු වාර්තා වීම ඊට හේතුවයි. ඒ අනූව මෙම පියවර ගත් බව බුද්ධ ශාසන අමාත්‍යාංශය පැවසීය. මේ පිළිබඳව සියලුම දිස්ත්‍රික් ලේකම්වරු හා ප්‍රාදේශීය ලේකම්වරුන් දැනුවත් කිරීමට ද පියවර ගෙන ඇත.

දන්සැල් පැවැත්වීමේ දී අදාළ ප්‍රදේශයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේගේ අවවාද අනුශාසනා හා අදාළ ග්‍රාම නිලධාරිගේ දැනුවත්වීම මත එය සිදුවිය යුතුය. මහජනතාව පීඩාවට පත්නොවන ලෙස දන්සැල් පැවැත්වීමට හා ඝෝෂාකාරී සංගීතය යොදා නොගැනීම තවත් නිර්ණායකයකි.

සෞඛ්‍ය ආරක්ෂිත ලෙස ආහාරපාන පිළියෙළ කිරීමට ක්‍රියා කිරීම, මත්ද්‍රව්‍ය දුම්වැටි භාවිතයෙන් වැළකීම, සැදැහැසිතින් සහ ආචාරශීලීව ක්‍රියා කිරීම ද එය නිර්ණායකයන්ට ඇතුළත් වේ. දන්සැල් සඳහා ජනතාව යොමු කිරීමේ දී බෞද්ධ කොඩිය භාවිත නොකර, ඒ වෙනුවට කහ පැහැති කොඩියක් භාවිත කිරීම සුදුසු බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනාරාල් නිමල් කොටවලගෙදර මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *