අපරාධවල මහ මොළකරුවන්ට ගැලවෙන්න ඉඩක් නැහැ – පොලිස්පති

(කොළඹ, ලංකාපුවත්) – මත්ද්‍රව්‍ය ජාවාරම් මෙන්ම පාතාල අපරාධකරුවන්ගේ සංවිධානාත්මක අපරාධ දෙස් විදෙස් සම්බන්ධතාවයෙන් බොහෝ විට සිදු කෙරෙන්නේ වැලිකඩ බන්ධනාගාරය කේන්ද්‍රකොටගෙන සිදු කෙරෙන දුරකථන පණිවිඩ හුවමාරු ජාලයක් ඔස්සේ බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා හෙළිකර සිටියි.

මේ බව හොඳින් හඳුනාගෙන ඇති අතර ඒ ඔස්සේ එම ජාවාරමට සම්බන්ධ දෙස් විදෙස් පාතාල සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කොටුකර ගැනීමේ මෙහෙයුම් සාර්ථකව සිදු කෙරේ.

වැලිකඩ බන්ධනාගාර හරහා සිදු කෙරෙන එම පණිවුඩ හුවමාරු ජාලය අකර්මණ්‍ය කිරීමට සහ සිරකරුවන් දුරකථන භාවිතා කිරීම කොටුකැර ගැනීමට බන්ධනාගාර නිලධාරීන්ද කටයුතු කරන අතර එම දුරකථන පණිවිඩ කුලුනු ඔස්සේ සිදුවන පණිවිඩ හුවමාරු අවහිර කරනු ලැබුවහොත් එය ඒ අවට ඇති වෙනත් ආයතනවලට බලපාන බව පවසයි.

මේ අතර මොහොමඩ් තාජුඩීන්, ලසන්ත වික්‍රමතුංග, ප්‍රගීප් එක්නැලිගොඩ හා බන්ධනාගාර ඝාතන සිද්ධීන්ද, කීත් නොයාර් හා සම්බන්ධ සුදු වෑන් පැහැර ගැනීම් සම්බන්ධව අත්අඩංගුවට ගෙන ඇති පොලිස් සහ හමුදා නිලධාරීන්ට එම අපරාධ සිදු කිරීමට හා පරීක්ෂණ වසන් කිරීමට නියෝග කළ පුද්ගලයා පිළිබඳ තොරතුරු හරිහැටි හෙළි කළහොත් කවුරු, අපේක්ෂිත ඇප ලබාගත්තත් එම අපරාධ චෝදනාවලින් බේරී සිටීමට කිසිසේත් ඉඩ නොලැබෙන බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පවසයි. ඒ කෙසේ වෙතත් එම අපරාධවලට අදාළ පරීක්ෂණවල කිසිදු ප්‍රමාදයක් නොමැති බව පවසන පොලිස්පතිවරයා චෝදනාවලට ලක්වෙමින් සිටින පුද්ගලයන්ට කිසිසේත් නීතියෙන් බේරී සිටීමට හැකියාවක් නොමැති බවත් කොයි මොහොතේ හෝ එම වගකිවයුත්තන් පිළිබඳ තොරතුරු නොසිතූ මොහොතක එළියට පනින බවද කියා සිටියේය.

අත්අඩංගුවට ගෙන සිටින සැකකාර පුද්ගලයන් කාගේ හෝ නියෝගයක් ක්‍රියාත්මක කැර ඇති බව පැහැදිලියි. එහෙත් මෙසේ අත්අඩංගුවට ගෙන ඇති ඔවුන් ඒ බව හරිහැටි හෙළි කිරීමට බියයි. ඊට හේතු ඇති. පොලිසියට කිසිම විටෙක බලෙන් ප්‍රකාශ හෝ තොරතුරු ලබාගන්න බැහැ.

ඔවුන් තොරතුරු හෙළි නොකර සිටින නිසයි එම පරීක්ෂණ තවදුරටත් මේ ආකාරයෙන් ඇදී යන්නේ. එහෙත් මේ අපරාධවලට නියෝග දුන් පුද්ගලයන් කවුද යන්න වැඩි කාලයක් ගත වීමට පෙර එළියට එන බවද පොලිස්පතිවරයා කියයි.

මෙම අපරාධ සම්බන්ධව පරීක්ෂණ පවත්වන රහස් පොලිසිය මූල්‍ය අපරාධ කොට්ඨාසය, සහ සෙසු පරීක්ෂණ පවත්වන ආයතන පමණක් නොව ප්‍රාදේශීය වශයෙන් විවිධ අපරාධ, මත්ද්‍රව්‍ය සංවිධානාත්මක අපරාධ සිදු කරන පොලිස් නිලධාරීන්ට ද විවිධ පුද්ගලයන්ගෙන් මරණීය තර්ජන එල්ල වී ඇත.

මෙම තර්ජන හමුවේ පොලිස් නිලධාරීන් නොසැලී කටයුතු කළද ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධව සම්පූර්ණයෙන් කටයුතු කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාත් පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී ඇත. ඒ අනුව තර්ජනවලට ලක්ව සිටින පොලිස් නිලධාරීන්ගේ ආරක්ෂාව පිළිබඳ වගකීම එම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, සහකාර පොලිස් අධිකාරී සහ පොලිස් ස්ථානාධිපති දක්වා පවරා තිබේ.

ඉහත අපරාධ සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් මේ වනවිට සිදු කෙරෙන්නේ ඒවා සිදුවී වසර ගණනාවකට පසුව බව පවසන පොලිස්පතිවරයා බොහෝ තොරතුරු වසන් කැර ඇති අතර ඒවා ලබා ගැනීම බෙහෙවින් දුෂ්කර තත්ත්වයක පැවැති බවද හෙළිකළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

1 × 3 =