වියානා ඇලට වැටුණු රථයේ සිටි අය සොයා තවදුරටත් මෙහෙයුම්

(කොළඹ, ලංකාපුවත්) – මහියංගනය වියානා ඇලට ජීප් රථයක් පෙරළීමෙන් අතුරුදන් වූවන් සොයා තවදුරටත් මෙහෙයුම් සිදු කෙරෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේය.

අද(26) අලුයම 04.30ට පමණ බදුල්ල – මහියංගනය මාර්ගයේ මාපාකඩ වැව ප්‍රදේශයේ දී ජිප් රථයක් වියානා ඇලට පෙරලීමෙන් අනතුරක් සිදුව තිබේ.

වියානා ඇලට වැටුණු ජීප් රථයේ ප්‍රධාන ලාම්පු දැල් වී තිබීමත් සමග එම රථය එහි පාවෙමින් තිබූ බවට ප්‍රදේශවාසීන් දැක ඇත. ඒ සමග ක්‍රියාත්මක වූ ඔවුන් මහියංගනය පොලිසියට ඒ පිළිබඳ දැනුම් දී තිබේ. මාපාකඩවැව පොලිස් පුහුණු පාසලේ නිලධාරීන් පිරිසක් දැඩි උත්සාහයක් දරා ජීප් රථය ගොඩගෙන ඇති බව සදහන් ය.

රථය පෙරළුනු ස්ථානයේ සිට මීටර් 500 ක් පමණ පහළින් රථය ගොඩගත් බව පොලිසිය පැවසීය. එම රථයේ පැමිණි අය දියේ ගසාගෙන යන්නට ඇති බවට සැක කෙරේ.

හිඟුරක්ගොඩ ප්‍රදේශයේ උපකාරක පන්ති ගුරුවරයෙකු වන ප්‍රභාත් විතානගේ නම් 34වන වියෙහි අයෙකු එහි ගමන් කර ඇති බවට තොරතුරු ලැබී ඇත.

ඔහු අද අළුයම 02.00ට පමණ කතරගම යන බව නිවැසියන්ට පවසා ජිප් රථයෙන් පැමිණ ඇති බව මෙතෙක් සිදු කළ විමර්ශන වලින් හෙළි වී ඇතැයි පොලිසිය සදහන් කළේය.

ජිප් රථයේ රියදුර මෙතෙක් හමුවී නොමැති අතර අතුරුදන් වූ අය සොයා පොලිස් ජීවිතාරක්‍ෂක ඒකකය, ප්‍රදේශවාසීන්ගේ ද සහය ඇතිව තවදුරටත් මෙහෙයුම් සිදු කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

18 − 14 =