ශ්‍රීලනිප මැයි රැලිය 07වනදා මඩකලපුවේදී

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙවර මැයි දින රැලිය පක්ෂයේ සභාපති, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ලබන 07 වැනිදා මඩකලපුවේදි පැවැත්වීමට මධ්‍යම කාරක සභාව තීරණය කර ඇත.

සියලු පළාත් වලින් පැමිණෙන ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින්ගේ සහභාගීත්වයෙන් මෙවර මැයි දින රැළිය පවත්වන අතර මැයි දින පෙළපාලියක් මෙවර නොපැවැත්වීමට තීරණය කර තිබේ.

මැයි දින රැළියට සමගාමීව කම්කරු නායකයන් සමරා විශේෂ සම්මන්ත්‍රණයක් මැයි පළමුවැනිදා පස්වරු 3.00 ට කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීටද තීරණය කළ බවත් වරාය හා නාවුක කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවසීය.

මැයි දිනය නිවාඩු දිනයක් බවට පත් කිරීමේ කාර්යයන් සිදුකළ එවකට රජයේ අගමැති , ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ එස් ඩබ්ලිව් ආර් ඩි බණ්ඩාරනායක ශ්‍රීමතාණන්, එවකට කම්කරු ඇමැති ටී බී ඉලංගරත්න, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වෘත්තිය සමිති ව්‍යාපාරයේ නියමුවන් වූ දිවංගත ආනන්ද දසනායක, අලෙවි මව්ලානා, හිටපු ප්‍රධාන ලේකම් ඩි සී වීරසේකර යන කම්කරු නායකයින් මෙහිදි සිහි කෙරේ.

ඇමතිවරයා මේ බව පැවසුවේ කොළඹ ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ දී ඊයේ (25) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

මෙවර මැයි දිනය සැමරුම සංවිධානය කිරීම සඳහා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක්ද පත්කර ඇත.

කෙසේ වුවද මැයි දින සැමරුම පළමු වැනිදා පැවැත්වීමට කිසිම වෘත්තිය සමිතියකට රජයෙන් බාධාවක් නොමැති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

one × 5 =