හදිසි අනතුරුවලට ලක්වූ සහ රෝගීවු විදේශ ශ‍්‍රමිකයින්ට මිලියන 6.7ක වන්දියක්

(කොළඹ, ලංකාපුවත්) –විදේශ රැකියා සඳහා පිටත්ව ගොස් සිටියදී හදිසි අනතුරුවලට ලක්වූ ශ‍්‍රමිකයින් සඳහා රුපියල් මිලියන 6.7ක වන්දි මුදලක් විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා විසින් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී ප‍්‍රදානය කළේය.

විවිධ තාක්ෂණික හේතු නිසා කාර්යාංශය මගින් නොමිලේ ලබාදෙන රක්ෂණ වන්දි ලබාගැනීමට නොහැකිවූ ශ‍්‍රමිකයින් තිස්දෙනෙක් සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සුභසාධක අරමුදල මගින් මෙම වන්දි ලබාදී තිබුණි.

විදේශ ගත ශ‍්‍රමිකයින්ගේ ආරක්ෂාව සහ සුභසාධනය වෙනුවෙන් සියළුම පියවර ගන්නා බව මෙහිදී අදහස් දැක්වූ විදේශ රැුකියා නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සඳහන් කළේය.

එහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා,

”විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ රැකියා සඳහා පිටත්ව යාම අනිවාර්ය දෙයක්. එය විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනතේම සඳහන් වන දෙයක්. එසේ ලියාපදිංචි වී විදේශ රැුකියා සඳහා පිටත්ව යන අයගේ ආරක්ෂාව සම්බන්ධයෙන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අපිට වගකීමක් තියෙනවා. ශ‍්‍රමිකයාගේ සුරක්ෂිතතාව ආරක්ෂා කිරීමට තමයි අපි සියළුම කටයුතු කරන්නේ. අපිට මේ සියළුම දේවල් කිරීමට හැකියාව ලැබෙන්නේ ඔබ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ ගතවුනොත් පමණයි. එසේ ලියාපදිංචි නොවී විදෙස් ගතවන අයගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අපිට නෛතික බැඳීමක් නෑ. මේ නිසා තමයි විදේශ ගතවන සියළුම ශ‍්‍රමිකයින් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය අනිවාර්ය වන්නේ.

ලියාපදිංචිව විදේශ රැුකියා සඳහා පිටත්ව ගියත් නියමිත කාල රාමුව තුළදී අදාළ රක්ෂණ වන්දි ලබාගැනීමට නොහැකි අයට සානුකම්පිත පදනම මත අපි වන්දි ලබාදෙනවා. මානුෂිය යුතුකම මත තමයි අපි මේ වන්දි ලබාදෙන්නේ.
විදේශ රැකියාවල යෙදී සිටියදී නියමිත සේවා කාලය දීර්ඝ කරනවා නම් අපගේ ලියාපදිංචියත් දීර්ඝ කරගන්න කියන පණිවුඩය ජනතාවට දෙන්න අවශ්‍යයි.

විදේශගත ශ‍්‍රමිකයින් ලංකාවට විශාල විදේශ විනිමයක් ලබාදෙනවා. ඔවුන් කරන රැුකියාව කුමක් වුවත්, ඔවුන් රටේ ආර්ථිකයට දක්වන දායකත්වය වැදගත්.”

මෙහිදී ලබාදුන් වන්දි මුදල් අතරට විදේශ රැකියාව අතරතුරදී හා මෙරටට පැමිණීමෙන් පසු සිදුවූ මරණ 19ක් සඳහා රු.5,400,000.00 ද, වෛද්‍යාධාර සඳහා ශ‍්‍රමිකයින් 9 දෙනෙකු වෙනුවෙන් රු.1,150,000.00, විදේශ රැකියාව අතරතුරදී සිදුවූ හිරිහැර හේතුවෙන් එක් ශ‍්‍රමිකයෙකු සඳහා රු.50,000 හා යැපෙන්නන් සඳහා එක් ශ‍්‍රමිකයෙකු වෙනුවෙන් රු.100,000.00 ද මුදලක්ද පිරිනමන ලදී. මෙහිදී ශ‍්‍රමිකයින් 30 දෙනෙකු වෙනුවෙන් පවුලේ සාමාජිකයින් 55 දෙනෙකු සඳහා මෙම මුදල් ලබාදෙන ලදී. 2018 වර්ෂය තුළදී සේවක සුභසාධක අරමුදල මගින් කාර්යාංශය මගින් ලබාදුන් ප‍්‍රථම වන්දි ප‍්‍රදානය මෙයයි.

එසේම 2017 වර්ෂය තුළදී විගමණික ශ‍්‍රමිකයින් 113 දෙනෙකු සඳහා සේවක සුභසාධක අරමුදල මගින් රු.22,900,000.00ක මුදලක් පිරිනමා තිබේ.

කාර්යාංශයේ සුභසාධන අංශයේ ළමා රැකවරණ සහන වැඩසටහන යටතේ විගමණික ශ‍්‍රමිකයෙකුගේ දියණියකට හෘද සැත්කමක් සඳහා රු. 50,000ක මුදලක්ද ලබාදෙන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *