ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට උදා ගම්මාන විසිපහක්

(කොළඹ, ලංකාපුවත්) – නිවාස නොමැති, ඉඩම් නොමැති ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා දිස්ත්‍රික්ක විසි පහ තුළ ක්‍රීඩා උදා ගම්මාන විසිපහක් සෑදීමට තීරණය කළ බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරයි.

අමාත්‍යවරයා එසේ ප්‍රකාශ කළේ ඊයේ(25) බත්තරමුල් නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

තමාටත් ඇතැම් අවස්ථාව වල ක්‍රීඩා සංගම්හි තනතුරු බාර ගන්නා ලෙස ඉල්ලීම් ලැබී ඇති බවද කී ඇමැතිවරයා ක්‍රීඩා සංගම්හි තනතුරු වල දේශපාලනඥයින් කටයුතු කිරීම තමන් තරයේ ප්‍රතික්ෂේප කරන බවද පැවසීය. දේශපාලනයට සම්බන්ධ පුද්ගලයින් ක්‍රීඩා සංගම් වල සමිති සමාගම් වල නිළතල දැරීමෙන් ඉවත්විය යුතුයි යෝජනාව තමන් ඉදිරිපත් කරන බවද කී ඇමැතිවරයා ඒ සඳහා නීතියක් ගෙන ආ යුතු බවද ප්‍රකාශ කළේය. ක්‍රීඩාව දේශපාලනයෙන් සම්පූර්ණයෙන් මුදවා ගත යුතු බවද පැවසූ සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා දේශපාලනඥයින්ට ක්‍රීඩා සංගම්වල තනතුරු වළින් පරිභාහිරව සිටිමින් ක්‍රීඩාවේ දියුණුව සඳහා විශාල මෙහෙයක් කළ හැකි යයිද කීය.

පසුගිය කාලයේ නිවාස බෙදාදීමේ කටයුත්තේ දී ඥාති සංග්‍රහ සහ ගෝල බාලයින්ට නිවාස ලබාදීම් දක්නට ලැබුණු බවද පැවසූ ඇමැතිවරයා විවිධ බාදක මැද මාතෘ භූමියට විශාල සේවයක් කරන, කීර්තියක් අත්පත්කර දෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා වැඩි අවධානයක් යොමු කළ යුතු යයිද පැවසූහ.

මේ වන විට උදා ගම්මාන 672ක ඉදිකිරීම් කටයුතු ආරම්භ කර ඇති බවද කී ඇමැතිවරයා එයින් 59 වන ගම්මානය හෙට විවෘත කරන බවද ප්‍රකාශ කළේය.රණවිරු ගම්මාන විසි පහක් ඉදි කිරීමේ කටයුත්තද මේ වන විට ආරම්භ වී ඇති බව පැවසූ සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා ක්‍රීඩකයින් සඳහා ඉදි කරන ක්‍රීඩා උදා ගම්මාන තුළ එක් දිස්ත්‍රික්කයට ඉදි කරන ගම්මානයකට නිවාස විසි පහක් ඇතුළත් වන බවද කීය. 2020 වන විට ගම්මාන 2500ක් සෑදීමේ ඉලක්කයට ඉඩම් වෙන් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවූ බවද ප්‍රකාශ කළේය.

කැබිනට් මණ්ඩලය නම් කිරීමේ විද්‍යාත්මක ක්‍රම වේදය පිළිබඳ විමසිය යුත්තේ ජනාධිපතිවරයාගෙන් හා අගමැතිවරයාගෙන් බව ඒ පිළිබඳ මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *