නව මත්ද්‍රව්‍ය විශේෂයක් සමග විදේශිකයෙක් ලංකාවේ දී අල්ලයි

(කොළඹ, ලංකාපුවත්) – දකුණු පළාතේ තංගල්ල රැකව ප්‍රදේශයේ සිදු කළ මත්ද්‍රව්‍ය වැටලීමකින් නවතම මත්ද්‍රව්‍ය විශේෂයක් වන ‘බ්ලැක් මෙන්ඩි‘ (BLACK MENDI) නැමැති මත්ද්‍රව්‍ය තබා ගෙන සිටි විදේශ ජාතිකයෙකු ඇතුළු සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

2018 වෙසක් උත්සවයට සමගාමීව සුරාබදු දෙපාර්තමේන්තුවේ, විශේෂ මෙහෙයුම් ඒකකය ඉකුත් 25වනදා මෙම වැටලීම සිදු කර ඇත.

අත්අඩංගුවට පත් විදේශිකයා වයස අවුරුදු 36 ක වන ඕස්ට්‍රියානු ජාතිකයෙක්. සාද සංවිධාන කිරීම ඔහුගේ වෘත්තිය බවත් මීට පෙරද ඔහු විසින් දිවයිනේ විවිධ පළාත්වල සාද සංවිධාන කර ඇති බවත් විමර්ශනවලදී තහවුරු වී තිබේ.

මෙම සැකකරු ඕස්ට්‍රියාවේ සිට මෙරටට මෙම මත්ද්‍රව්‍ය රහසිගතව ගෙනවිත් බෙදාහරින ප්‍රධාන පෙළේ ජාවාරම්කරුවෙක් බවත් අනාවරණය වි තිබෙනවා. මෙවර අත්අඩංගුවට පත් මත්ද්‍රව්‍ය තොගය රුසියාවේ සිට සිය, යට ඇදුම් තුළ සඟවාගෙන රැගෙනවිත් ඇතැයි හෙළිවේ.

අත්අඩංගුවට පත් අනෙක් ශ්‍රී ලාංකික සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 25 සීමාවේ පසුවන්නන් වනවා. ඔවුන් ඉතා තදින් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූවන් වන අතර සංචාරක කර්මාන්තයේ යෙදෙන්නන් බවට ද හදුනාගෙන ඇත.

‘බ්ලැක් මෙන්ඩි‘ මත්ද්‍රව්‍ය ග්‍රෑම් 82ක ප්‍රමාණයක් සුරාබදු නිලධාරීන් මෙහිදී සොයා ගෙන තිබෙන අතර මෙම මත්ද්‍රව්‍ය විශේෂය මෙරටදී අත්අඩංගුවට ගත් ප්‍රථම අවස්ථාව ද මෙය වෙයි. එහි වටිනාකම රුපියල් ලක්‍ෂ 12ක් පමණ වන බව සදහන්ය.

මෙම මත්ද්‍රව්‍ය විශේෂය යමෙකු විසින් අධිමාත්‍රාවන්ගෙන් ගතහොත් සිහිවිකල්වන බවයි සුරාබදු නිළධාරින් පවසයි.

අත්අඩංගුවට පත් සැකකරුවන් තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 04 වනදා තෙක් රක්‍ෂිත බන්ධනාගාරගත කරනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *