විදේශිකයෙකුට අයත් බැංකුකාඩ් පතක් සොරා කෑ හෝටල් කළමනාකරු අල්ලයි

(කොළඹ, ලංකාපුවත්) – මෙරට රැදී සිටි ජර්මානු ජාතිකයෙකුට අයත් බැංකුකාඩ් පතක් සොරාගත් හෝටල් කළමනාකරවරයෙක් අත්අඩංගුවට ගෙන ඇත.

අදාළවිදේශිකයාගේ සොරා ගත් කාඩ්පත භාවිත කරමින් නුවරඑළිය, ඇල්ල, බදුල්ල සහ මාතර යන ප්‍රදේශවල දී රුපියල් 425,000ක මුදලක් ලබා ගෙන ඇති බවට 2017 වසරේ ඔක්තෝබර් 13වනදා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත තැපැල් මගින් ලද පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කර තිබේ.

එම විමර්ශනයේ දී අනාවරණය කර ගත් කරුණු අනුව සැකකරු විසින් භාණ්ඩ හා සේවා ලබාගත් ස්ථානයන් සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්වීමේ දී සැකකරු එම ස්ථාන වෙත ව්‍යාජ තොරතුර සපයා ඇති බවට අනාවරණය වී ඇත.

මේ සම්බන්ධයෙන් වැඩි දුර පරීක්‍ෂණ පැවැත්වීමේ දී මෙම සැකකරු පැමිණිලිකාර ජර්මානු ජාතිකයා නවාතැන් ගෙන සිටි ඇල්ල ප්‍රදේශයේ පිහිටි හෝටලයක කළමනාකරු ලෙස සේවය කළ අයෙකි. ඔහු තිස්සමහාරාම ප්‍රදේශයේ පදිංචි අයෙක් වේ. සැකකරු පසුව එම හෝටලයෙන් ඉවත් වී බදුල්ල ප්‍රදේශයේ පිහිටි හෝටලයක කළමනාකරු වශයෙන් සේවය කරමින් සිටිය දී අපරාධ පරීක‍්ෂණ දේපාර්තමේන්තුව විසින් 2017.12.20වනදා අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු 2017.12.21වනදා බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රක්‍ෂිත බන්ධනාගාර ගත කර හදුනාගැනීමේ පෙරට්ටුවකින් පසු 2018.04.25වනද සැකකරු සියලු චෝදනා සදහා වරද පිළිගෙන එම මුදල් පැමිණිලිකරු වෙත ගෙවීමට පොරොන්දු වී තිබේ. පසුව අධිකරණය විසින් සැකකරුට වසර 05ක බරපතල සිර දඩුවම් නියම කර එම සිර දඩුවම වසර 05කට අත්හිටුවා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *