ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු කම්කරු නායකයින්ට උපහාර

(කොළඹ, ලංකාපුවත්) – මෙරට වැඩකරන ජනතාව වෙනුවෙන් ලේ, කදුළු සහ දහඩිය හෙළමින් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හිටපු කම්කරු නායකයින් වෙත උපහාර පුද කිරීමේ උත්සවයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(01) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.

ලෝක කම්කරු දිනයට සමගාමීව සංවිධානය කර තිබූ මෙම උත්සවයේදී මෙරට වැඩකරන ජනතාවගේ අයිතින් දිනාදෙමින් කම්කරු ව්‍යාපාරයට නව ජවයක් සහ ප්‍රබෝධයක් ලබාදුන් හිටපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වෘත්තීය සමිති නායකයින් අගයමින් ඔවුන් වෙනුවෙන් උපහාර තිළිණ පිළිගැන්වීම ජනාධිපතිතුමා අතින් සිදුවිය.

මෙරට වැඩකරන ජනතාව වෙනුවෙන් සුවිශාල සේවාවක් ඉටුකළ සහ මැයි දිනය රජයේ නිවාඩු දිනයක් බවට පත්කිරීමට අවශ්‍ය කටයුතු සිදුකළ හිටපු අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිවි.ආර්.ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන්, එවකට කම්කරු අමාත්‍යව සිටි ටී.බී. ඉලංගරත්න මහතා මෙන්ම පක්ෂයේ වෘත්තිය සමිති ව්‍යාපාරයේ නියමුවන් වූ දිවංගත ආනන්ද දසනායක, හර්බට් වික්‍රමසිංහ, ඩී.සී. වීරසේකර, භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර සහ අලවි මවුලානා යන මහත්වරුන් ඇතුළු කම්කරු නායකයින් වෙනුවෙන් මෙහිදී උපහාර පුද කෙරුණු අතර ඔවුන්ගේ ඡායාරූපවලට මල්දම් පැළද වූ ජනාධිපතිතුමා උපහාර පුද කළේය.

හිටපු කම්කරු නායකයින් වෙත උපහාර පුද කරමින් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් වෙත උපහාර තිළිණ පිළිගැන්වීම ජනාධිපතිතුමා අතින් සිදුවිය.

නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, සුසිල් ප්‍රේමජයන්ත, දුමින්ද දිසානායක, මහින්ද සමරසිංහ, ඩබ්.ඩී.ෙජ්. සෙනෙවිරත්න, චන්දිම වීරක්කොඩි, ලසන්ත අලගියවන්න යන මැති ඇමතිවරුන් ද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් සහ වෘත්තීය සමිති නායකයින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

twelve − three =