දූවිලි කුණාටුවක් නිසා ඉන්දියාවේ 78ක් මරුට

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දියාවේ රාජස්ථාන් හා උත්තර් ප්‍රදේශ් ප්‍රාන්ත හරහා හමාගිය දූවිලි කුණාටුවකින් පුද්ගලයෝ 78 දෙනෙක් මිය ගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කර තිබේ.

ඊයේ(02) ඇතිව තිබෙන මෙම කුණාටු තත්ත්වය හේතුවෙන් ගස් කොළන් හා නිවාස රැසක් විනාශ වී ඇති අතර විදුලිය ද විසන්ධි වී ඇති බව වාර්තා වේ.

දුවිලි කුණාටුවත් සමඟ උත්තර් ප්‍රදේශ් සහ රාජස්ථාන් ප්‍රාන්තවලට දැඩි වර්ෂාපතනයක්ද ලැබී තිබේ.

කඩා වැටුණු නිවෙස්වලට යටවීමෙන් එම නිවෙස් තුළ නිදා සිටි පුද්ගලයින් විශාල පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව සදහන් වේ.

ගිම්හාන කාලය තුළ ඉන්දියාවේ මෙම ප්‍රදේශ තුල දූවිලි කුණාටු බහුලව දක්නට ලැබේ. එහෙත් මෙලෙස විශාල ජීවිත සංඛ්‍යාවක් අහිමි වූ පළමු අවස්ථාව මෙය බවට සැලකේ.

කෙසේ නමුත් අයහපත් කාලගුණයෙන් නව දිල්ලි අගනුවරට බලපෑම් එල්ල වී නොමැත.

මේ අතර සිදුවීම සම්බන්ධයෙන් සිය කණගාටුව පල කල ඉන්දීය අගමැතිවරයා විපතට පත්වූවන් සඳහා හැකි ඉක්මණින් සහන සලසන ලෙසට බලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *