රණමයුර සම්මානය සොයා මෙහෙයුම් අඛණ්ඩව

(කොළඹ, ලංකාපුවත්) – හෙළයේ මහා සිනමාවේදී අභාවප්‍රාප්ත ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාට රණමයුර සම්මානය සමඟ හිමිවූ පදක්කම අතුරුදන් වීම පිළිබඳව වහාම පරීක්‍ෂණයක් පවත්වන්නැයි නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී තිබේ.

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ අවසන් කටයුතු සිදුකෙරුණු දිනයේ දී මෙම පදක්කම අතුරුදන් වී තිබුණි.

ඉකුත් 02වනදා පෙරවරු 10 ට නිවසේ දී දේහය පිළිබඳ ආගමික වතාවත් සිදුකරන අවස්ථාවේදී ද පදක්කම තිබුණු බව වාර්තාකරුවන් පවසයි. එහෙත් දේහය නිවසින් පිටතට රැගෙන යන අවස්ථාවේ දී එය නොතිබුණු බවයි වාර්තා වේ.

කෙසේ වෙතත් මෙම පදක්කම යම්කිසි පුද්ගලයෙකු ගෙන ගියා නම් එය ලබාදීමට කටයුතු කරන ලෙස කලාකරුවන් ද ඉල්ලීමක් කරනු ලැබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු යටතේ පරීක්‍ෂණ සිදුකරන ලෙසට අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා දැනුම් දී ඇත.

වීඩියෝ දර්ශන මාධ්‍යයෙන් ද යම් හෝඩුවාවක් ලබාගත හැකි වෙතැයි විශ්වාස කෙරේ. බම්බලපිටිය පොලීසිය මේ වන විටත් විමර්ශන ආරම්භ කර තිබේ.

ජීවිතේ එක් වරක් පමණක් අද්විතීය සිනමාකරුවෙකුට හිමිවන මෙම පදක්කම 2000 වසරේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරීස් මහතාට 31 වන අන්තර් ජාතික ඉන්දීය සිනමා සම්මාන උළෙලේදී පිරිනැමුණේ සිනමාවට ඔහු කළ මෙහෙවර අගයමිනි.

ලෙස්ටර් ජේම්ස් පීරිස් වියතාණන්ගේ අනර්ඝ නිර්මාණයක් ලෙස අවිවාදයෙන් සැලකෙන 1963 වසරේදී තිරගත වූ ‘ගම්පෙරළිය‘ චිත්‍රපටය සඳහා ඉන්දියාවේ තුන්වැනි නවදිල්ලි සිනමා සම්මාන උළෙලේදී ඔහු වෙත රණ මයුර සම්මානය (Golden Peacock Award) පිරිනමනු ලැබීය. එය සිංහල සිනමා කෘතියක් විසින් ජාත්‍යන්තර සම්මානයක් දිනාගත් පළමු අවස්ථාවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *