2020 දී විශ‍්‍රාම නොයන බව ජනපති පවසයි

(කොළඹ, ලංකාපුවත්) –තමන් 2020 දී විශ‍්‍රාම නොලබන අතර, නව වැඩපිළිවෙළක් ඔස්සේ රට වෙනුවෙන් ඉටුකළයුතු වැඩකොටස අඛණ්ඩවම ඉදිරියට කි‍්‍රයාත්මක කරන බව ජනාධිපතිතුමා පවසයි.

පසුගිය වසර තුනක මහඟු අත්දැකීම් සමුදාය ඒ සඳහා ආශිර්වාදයක් කර ගන්නා බව ද සඳහන් කළ ජනාධිපතිතුමා රටට සහ ජනතාවට ආදරය කරන අවංක දේශපාලනඥයින් පිරිසක් එම වැඩපිළිවෙළ වටා ඒකරාශී කරගන්නා බව ද සඳහන් කළේය.

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ ඊයේ (07) පස්වරුවේ මඩකලපුවේදී පැවති ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි දින රැළිය අමතමිනි.“ජාතික සමගියට කම්කරු ජවය” තේමාව යටතේ දිවයිනේ සියලු පළාත්වලින් පැමිණි ශ‍්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවති මෙම කම්කරු රැළියට ජාති, ආගම් බේදයකින් තොරව විශාල ජනතාවක් ඒකරාශී වි සිටියහ.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ රට ගොඩනැගීම සඳහා නව දේශපාලන වැඩපිළිවෙළක් ඉදිරියේදී ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය රටට හඳුන්වා දෙන බවයි. නව ප‍්‍රතිසංවිධාන වැඩපිළිවෙළක් සමග ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය පූර්ණ ලෙස ජනතාවාදී පක්ෂයක් බවට පත්කරමින් සහ පක්ෂයේ මධ්‍යගත ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කරමින් ශක්තිමත් දේශපාලන පක්ෂයක් ලෙස ඉදිරියට ගෙන යන බව ද පැවසූ ජනාධිපතිතුමා එම නව වැඩපිළිවෙළට එක්වන්නැයි තමා මේ රටේ සියලු වැඩකරන ජනතාවට ආරාධනා කරන බව ද සඳහන් කළේය.

කිසිදු ජනතාවාදී වැඩපිළිවෙළක් නොමැතිව බලය ලබා ගැනීමට පමණක් සිහින දකිමින් 2020 දී අලුත් ආණ්ඩු සෑදීමට ඇතැමුන් අද සූදානම් වන අතර, එම පිරිස අතර සොරකම් නොකළ සහ මිනිස් ඝාතන සිදු නොකළ අවංක පිරිස කී දෙනක් සිටිනවාදැයි තමන් ප‍්‍රශ්න කරන බවත්, එබැවින් අවංක දේශපාලනඥයින් ලෙස සුදුසු අය පමණක් 2020 දී නව ආණ්ඩු සැදීමට ඒකරාශී වන්නැයි තමන් ආරාධනා කරන බවත් ප‍්‍රකාශ කළේය.

මේ රටේ අහිංසක ජනතාවගේ හෘද සාක්ෂිය තේරුම්ගත් සහ රටේ ජාතික සමගිය ගොඩනැගීම සඳහා ස්ථිරසාර වැඩපිළිවෙළක් මෙන්ම මතු පරපුර වෙනුවෙන් හොඳ රටක් ගොඩනැගීමේ නිසි වැඩපිළිවෙළ සහ රටේ ආගම, සංස්කෘතිය සහ සභ්‍යත්වය රකින වැඩපිළිවෙළ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සතු අතර එම වැඩපිළිවෙළට නව ජවයක් ලබාදෙමින් ඉදිරියට කි‍්‍රයාත්මක කරන බව ද ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය.

ජාතීන් අතර සමගිය සහ සහෝදරත්වය ගොඩනැගීමේදී වෘත්තීය සමිති ව්‍යාපාරයට සහ කම්කරු ජනතාවට ඉටුකළ හැකි මෙහෙවර සුවිශේෂී වන අතර රටේ මතු පරපුර වෙනුවෙන් ජාතික සමගිය සහ සංහිඳියාව ගොඩනැගීමේ වැඩපිළිවෙළට ඒකරාශි වන්නැයි තමා ඔවුන් සියලුදෙනාට ආරාධනා කරන බව ද පැවසීය.

හිටපු අග‍්‍රාමාත්‍ය දී.මු ජයරත්න, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා යන මහත්වරුන් ඇතුළු ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මැති ඇමතිවරු රැසක් ද ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක, ඒක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර යන මහත්වරුන් ඇතුළු පක්ෂ කි‍්‍රයාකාරීහු මීට එක්ව සිටියහ.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි දින රැලිය අමතා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා කරන ලද කථාව (218-05-07 වන දින මඩකලපුව, චෙන්කලඩි, මාවඩිවෙම්බු කී‍්‍රඩාංගණය)

” මම ඉතාමත් සතුටු වෙනවා මේ වසරේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික කම්කරු සමරුව අද මඩකලපුවේදි පැවැත්විමට ලැබීම ගැන. අපි අද එක්වී සිටින්නේ අපේ රටේ වගේම ලෝකයේම වැඩකරන ජනතාවට, කම්කරු ජනතාවට අපේ ගෞරවය පුද කිරීම සඳහා. විශේෂයෙන්ම අපේ සියලුම වෘත්තීය සමිති අද අපි සමග එක්වී මෙම වැඩසටහන සාර්ථක කිරීමට ඒ සියලුදෙනා දැක්වු සහයෝගය මම විශේෂයෙන් සිහිපත් කරනවා.

මැයි දිනය වෙන් කර තිබෙන්නේ ලෝකයේ වැඩ කරන ජනතාව වෙනුවෙන්. විශේෂයෙන් ඔවුන්ගේ අයිතිවාසිකම් වරප‍්‍රසාද සමග ඔවුන්ව සිහිපත් කිරීම, සැමරීම වගේම එම අයිතිවාසිකම් ලබාදීම සඳහා සියලුදෙනාගේ අවධානය යොමුවීම සඳහායි. මේ රටේ වැඩකරන ජනතාවට, කම්කරු ජනතාවට සෑම විටම අයිතිවාසිකම්, වරප‍්‍රසාද ලබා දුන්නේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩු විසිනුයි.

ඒ වගේම ගෙවී ගිය අවුරුදු තුන හමාරක කාලය තුළ අපේ රජය මේ රටේ වැඩකරන ජනාතවට, කම්කරු ජනතාවට දීමනා වැඩිකිරීම් ප‍්‍රමුඛව අයිතිවාසිකම් රාශියක් ලබාදුන්නා. අද ලෝකයේ සෑම රටකම කම්කරු සටන්වලදි ,සියලු කම්කරුවනි එක්වෙව්, කියලා ඒ සටන්කාමිත්වය තුළ හඬගා කියනවා. මැයි පළමුවැනිදා ජාත්‍යන්තර කම්කරු දිනය වුවත් අද දවස ඒ සඳහා යොදාගත්තේ ඇයි කියන කාරණය ඔබ සෑමකෙනෙක්ම දන්නවා. ඒ නිසා මම ඒ ගැන කතා කරන්නේ නැහැ.

අපිට මේ රටේ කම්කරු ජනතාව, වෘත්තීය සමිති ව්‍යාපාරය ඉතමත් වැදගත් වෙනවා ජාතික සමගිය ගොඩනැගීමේදී. විශේෂයෙන්ම ඔබ අප කවුරුත් දන්නවා අපි අවුරුදු 30 කට ආසන්න කාලයක් ඉතාම දරුණු ඒවගේම ඛේදනීය යුද්ධයකට මුහුණ දුන්නා. ඒ යුද්ධයේදී සිංහල, දෙමළ, මුස්ලිම් සෑම කොටසකගේම ජීවිත හානි සිදුවුණා. සෑම ජාතියකම නායකයින් මරණයට පත්වුණා.
ඒ වගේම අපේ ආරක්ෂක හමුදා, ති‍්‍රවිධ හමුදා, පොලීසිය සහ සිවිල් ආරක්ෂක අංශයේ විශාල පිරිසක් මිය ගියා. ඒ යුද්ධයේ අත්දැකීම් සමග අපි සෑම කෙනෙක්ම වගකීමෙන් කටයුතු කරමින් නැවත මේ රටේ යුද්ධයක් ඇතිවීම වළක්වන්න ඕන. එහිදී වෘත්තීය සමිති ව්‍යාපාරවලට, කම්කරු පංතිවලට විශාල වගකීම් සහ යුතුකම් රාශියක් තිබෙනවා. ජාතික සමගිය ගොඩනැගීමේදී විශේෂයෙන්ම ජාතීන් අතර සුහදභාවය, මිත‍්‍රශීලිභාවය ගොඩනැගීමේදී කම්කරු ව්‍යාපාරයට, වෘත්තීය සමිති ව්‍යාපාරයට කළහැකි මෙහෙය ඉතාමත් විශාලයි කියන එක මම මෙහිදී සඳහන් කරන්න ඕන.

අපි අවුරුදු 30ක යුද්ධයෙන් පසු පශ්චාත් යුද සමයකට මුහුණ දුන්නා. යුද්ධය අවසන් වී දැන් අවුරුදු 10කට ආසන්නයි. පසුගිය අවුරුදු තුන හමාරක කාලයේ විශේෂයෙන් මේ රටේ පශ්චාත් යුද සමයක කළයුතු වගකීම් හා යුතුකම් රාශියක් අපි ඉටුකළා. ජාතීන් අතර සමගිය ගොඩනැගීම සඳහා. මේ රටේ සෑම ජන කොටසකටම සැකයෙන් බියෙන්, අවිශ්වාසයෙන් තොරව ජීවත්වීමේ අයිතිය අපි තහවුරු කරලා තිබනෙවා. ජාතික සංහිඳියාව ශක්තිමත් කිරීමට විශාල කැපකිරීමක් අපේ රජය කරලා තිබෙනවා. අපි ජාතික සංහිදියාව ගොඩනගන්න, සමගිය ගොඩනගන්න කරන ලද බොහෝ වැඩසටහන් ඇතැම් දේශපාලන අන්තවාදීන් අපහාසයෙන් සහ උපහාසයෙන් විග‍්‍රහ කළා. පෙන්නුම් කළා.

මේ රටේ නැවත යුද්ධයක් ඇතිවීම වැළැක්වීම සඳහා සියලු ජාතීන් අතර විශ්වාසය ඇති කරන පැහැදිලි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට අපි තවමත් අසමත් වෙලා තිබෙනවා. යුද්ධයෙන් තුවක්කුවලින් ප‍්‍රශ්න විසඳන්න බැහැ. මනුෂ්‍යත්වයෙන් මිනිස්කමෙන් ප‍්‍රශ්න විසඳන්න ඕන. ඒක තමයි දියුණු සමාජයක ලක්ෂණ. ඒ සඳහා අපි සෑම කෙනෙක්ම කැප වෙන්න ඕන. දේශපාලන පක්ෂ අවංකභාවයෙන් කටයුතු කරන්න ඕන.

ඒ අවංකභාවය පැහැදිලිව කි‍්‍රයාවෙන් පෙන්නන්න ඕන. බලය ලබාගන්න පුළුවන්. බලය ලබාගන්න අද සමහර අය බොහෝ ජනතාව දේවල් පෙන්නුම් කරනවා . බලය ලබා ගැනීමේ සිහිනවල බොහෝ අය ඉන්නවා. නමුත් මේ රටේ ජාතික සමගිය ගොඩනැගීම පිළිබඳ ඇතිවී තිබෙන ගැටලුව විසඳීමට අවංක කැපවීමක් දේශපාලන නායකයින් කී දෙනෙකුගේ තිබෙනවද කියලා මම අහනවා.
මේ ප‍්‍රශ්න පැහැදිලි ලෙසම අළු යට ගිනි වගේ තිබෙන්නේ. මේ රටේ විශේෂයෙන්ම උතුරු නැගෙනහිර වේවා, දකුණේ වේවා තරුණයින්ට නැවත තුවක්කුව අතට ගැනීමට සිදුවන යුගය වැළැක්විය යුතුයි අපි. දේශපාලන බලය බලාපොරොත්තු වන අය මේ සඳහා වැඩපිළිවෙළක් ඉදිරිපත් කරලා නැහැ. අපේ වර්තමාන රජය වැඩපිළිවෙළවල් රාශියක් ඉදිරිපත් කළා. ඒවා කි‍්‍රයාත්මක කළා. ඒවායේ අඩු පාඩුකම් තිබෙනවා. ඒ නිසා එම වැඩසටහන් තව ශක්තිමත්කර ගැනීම අවශ්‍ය වෙනවා.

ඒ නිසා මේ රටට ආදරයක් තිබෙන සෑම දේශපාලන පක්ෂයක්ම, සෑම දේශපාලන නායකයෙක්ම මේ රටේ ජාතික සමගිය ස්ථීරසාර කිරීම සඳහා අවංකව කැප වෙන්න ඕන. ඒ කැපවීම පෙන්නුම් කරන්න ඕන. අපි රට වෙනුවෙන් වගකීමෙන් කටයුතු කරන්න ඕන. බලය නැති අයට ඕන දෙයක් කියන්න පුළුවන්. නමුත් මේ ප‍්‍රශ්නවල තිබෙන බැරෑරුම්කම සෑම කෙනෙක්ම තේරුම් ගන්න ඕන.

මේ රටේ සියලු කම්කරු ජනතාවට, වැඩ කරන ජතාවට, වෘත්තීය සමිති ව්‍යාපාරවලට අපි ගෞරවයෙන් ආරාධනා කරන්නේ ජාතික සමගිය ගොඩනැගීමේ ඒ වැඩපිළිවෙළට එක්වෙන්න කියලා. පොදු ජනතාවගේ සාමාන්‍ය ජනතාවගේ ප‍්‍රශ්න රාශියක් තිබෙනවා. ඒවා විසඳීම සඳහා අපි පසුගිය වසර තුන හමාරේ සෑහෙන වැඩකොටසක් කළා.

මේ ප‍්‍රදේශයේ ජනතාවගේ ප‍්‍රශ්න ගැන අද කතා කළා. මේ ඇමතිවරු නියඟය ගැන කතා කළා. මේ නියඟය දැන් අවුරුදු තුන හමාරකට වැඩියි. මේ නියඟය අපිට වඩා පාකිස්ථානයේ තිබෙනවා. මේ නියඟය අපිට වඩා ඉන්දියාවේ තිබෙනවා. මේ කලාපයේ රටවල් ගණනාවක් මේ නියඟයට මුහුණ දී තිබෙනවා. අපි මිනිස්සු විදියට ස්වභාවධර්මයා සමග සටන් කළයුතුයි. ලෝක ඉතිහාසයේ මිනිසුන් ඉදිරියට ඇවිල්ලා තිබෙන්නේ ස්වභාව ධර්මයා සමග සටන් කරලා. ඒ දැනුමෙන්, බුද්ධියෙන් අත්දැකීම්වලින්. ඒ නිසා අපි සෑම කෙනෙක්ම එකට එක්වෙන්න ඕන දැනුමෙන්, බුද්ධියෙන් සහ අත්දැකිම්වලින් මේ ප‍්‍රශ්න විසඳන්න. සෑම දේශපාලනඥයෙක්ම අවංක වෙන්න ඕන. බලයෙන් පමණක් ජනතාව රවටන්න හොඳ නැහැ.

සමහර අය බලාපොරොත්තු වෙනවා බලය ගන්න වැඩපිළිවෙළක් නැතුව. ඒ නිසා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය බලාපොරොත්තු වෙනවා පසුගිය කාලයේ ලැබූ මේ අත්දැකීම් සමග ජනතාවට අලුත් වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන්න. සමහර අය මගෙන් අහනවා මම 2020 විශ‍්‍රාම යනවද කියලා. මේ දවස්වල සමාජ වෙබ් අඩවිවල යනවා 2020 මම විශ‍්‍රාම යනවා කියලා. මම 2020 විශ‍්‍රාම යන්නේ නැහැ, කරන්න වැඩ හුඟක් තිබෙනවා. මේ රටේ අවංක දේශපාලනඥයින් කී දෙනෙක් ඉන්නවද කියලා මම අහනවා. හොරකම් කරපු නැති මිනී මරපු නැති කී දෙනෙක් ඉන්නවද කියලා මම අහනවා. අපිට අවශ්‍ය අලුත් වැඩපිළිවෙළක්. ඒ වැඩපිළිවෙළට දේශපාලන හොරු අවශ්‍ය නැහැ. දේශපාලන තක්කඩි අවශ්‍ය නැහැ. මිනීමරපු මිනිස්සු අවශ්‍ය නැහැ. දූෂිතයින් අවශ්‍ය නැහැ. වංචාකාරයින් අවශ්‍ය නැහැ. මිනිසුන්ට ආදරය කරන දේශපාලන නායකයින් අවශ්‍යයි මේ රටට. අද සමහර අය සිහින මවනවා 2020 අලුත් ආණ්ඩු හදන්න. මම දැක්කා අපේ ආණ්ඩුවෙත් සමහර අය 2020 ගැන කතා කරනවා. ඒ හිටපු අයටයි, ඉන්න අයටයි ඔක්කොටම කියනවා මේ රටේ අවංක දේශපාලනඥයින් විදියට ඒ සඳහා සුදුසු අය එකතු වෙන්න කියලා.
ජාතික සමගිය ගොඩනගන්න වැඩපිළිවෙළක් තියෙන්නේ කොතනද එතන අපි ඉන්නවා. මේ රටේ දුප්පත්කම නැති කරන්න වැඩපිළිවෙළ කොතනද එතන අපි ඉන්නවා. නොයක් අය නොයෙක් සිහින දකින්න පුළුවන්. මේ රටේ තරුණ පරපුරේ අනාගතය ගොඩනගන්න වැඩපිළිවෙළක් තියෙන්නේ කොතනද එතන අපි ඉන්නවා. මේ රටේ උගතුන්ට බුද්ධිමතුන්ට හොඳ සමාජයක් හදන්න ඒකරාශි වීමක් තිබෙන්නේ කොතනද එතන අපි ඉන්නවා. ඒ නිසා අපි කවුරුත් මේ සියලු කටයුතුවලදි අවංක වෙන්න ඕනෑ. සුරංගනා ලෝක ගැන කතා කරන්න පුළුවන්. නොයෙක් අය නොයෙකුත් සිහින දකින්න පුළුවන්. ඔය සුරංගනා ලෝක දකින අයත් සිහින දකින අයත් මේ රටේ දුප්පත් අහිංසක ජනතාවගේ ප‍්‍රශ්න ගැන අවංක කැපවීමක් නැහැ කියලා මම පැහැදිලිව කියනවා.

මේ අහිංසක දුප්පත් ජනතාවගේ හෘද සාක්ෂිය තේරුම් ගන්න ඕනෑ. දේශපාලන නාඩි වැටෙන හැටි තේරුම් ගන්න ඕනෑ. මිනිසුන්ගේ දුක් ගැනවිලි තේරුම් ගන්න ඕනෑ. අපේකම අපේ දේ රැකගන්න ඕනෑ. දේශීයත්වය රැක ගන්න ඕනෑ. අපේ සංස්කෘතිය රැක ගන්න ඕනෑ. අපේ උරුමයන් රැක ගන්න ඕනෑ. මේ රටේ බෞද්ධ භික්ෂු සමාජය ශක්තිමත් කරන්න ඕනෑ. ආරක්ෂා කරන්න ඕනෑ. මේ රටේ හින්දු, ඉස්ලාම්, ක‍්‍රිස්තියානි සමාජය ශක්තිමත් කරන්න ඕනෑ.

මේ රටේ සිංහල බෞද්ධ ජනතාවගේ ප‍්‍රශ්න මොනවද කියලා තේරුම් ගන්න ඕනෑ. මේ රටේ ඉස්ලාම් ජනතාවගේ ප‍්‍රශ්න මොනවද කියලා තේරුම් ගන්න ඕනෑ. මේ රටේ හින්දු ජනතාවගේ දෙමළ ජනතාවගේ ප‍්‍රශ්න තේරුම් ගන්න ඕනෑ. ඒ ප‍්‍රශ්නවලින් ලිස්සලා යන්න දේශපාලනඥයින්ට පුළුවන්කමක් නැහැ. ආණ්ඩු කරන අයත් ආණ්ඩු හදන්න බලාපොරොත්තු වන අයත් මේක පැහැදිලිව තේරුම් ගන්න ඕනෑ. ඒ නිසා මේ ඓතිහාසික කම්කරු රැළියේදි මම කියනවා ඒ අවංක කැපවීම් සහිත ජාතියේ අනාගතය සඳහා වූ වැඩපිළිවෙළක් වෙනුවෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කරමින් සියලුදෙනා ඒකාරාශී වෙමුයි කියලා මා ආයාචනය කරනවා.

අපිට මේ රට හදන්න ජාත්‍යන්තරයෙන් හොඳ සහයෝගයක් තිබෙනවා. අපිට ලෝකයේ සෑම රාජ්‍යයක්ම අද සලකනවා. අපිව විශ්වාස කරනවා. ඒ විශ්වාසයෙන් අපි රටට වැඩක් කර ගන්න ඕනෑ. ජාත්‍යන්තරය අප කෙරෙහි තබා ඇති විශ්වාසයෙන් මේ රට ගොඩනගන්න ඕනෑ. ඒ විශ්වාසය තුළින් මේ රට සංවර්ධනය කරන්න ඕනෑ. මේ රටේ ජනතාවගේ ප‍්‍රශ්න විසඳන්න ඕනෑ. ඒ නිසා දේශපාලනඥයෝ බොරු කරන්නේ නැතිව අවංකව වැඩ කරන්න ඕනෑ. හොරු දූෂිතයෝ කව්ද කියලා මුළු රටම දන්නවා.

මේ රටට අද අවශ්‍ය වන්නේ අවංක කැපවීම සහිත සාමූහික පිරිසක්. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය පැහැදිලි පිරිසිදු වැඩපිළිවෙළක් රටට ඉදිරිපත් කරනවා. සමහර අය කියනවා අපි දුර්වල වෙලා කියලා. නැහැ අපි දුර්වල වෙලා නැහැ. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය පාර්ලිමේන්තුවේ ආසන 07 ට බැහැපු වෙලාවල් තිබුණා. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය තුනට හතරට කැඩිච්ච වෙලාවලුත් තිබුණා. මේ රටේ සෑම දේශපාලන පක්ෂයකටම ඒ අත්දැකීම තිබෙනවා. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය අලුත් වැඩපිළිවෙළක් රටට හඳුන්වා දෙනවා. රට ගොඩනගන දේශපාලන වැඩපිළිවෙළක් හඳුන්වා දෙනවා. පක්ෂයේ අලුත් ප‍්‍රතිසංවිධාන වැඩපිළිවෙළක් හඳුන්වා දෙනවා. පක්ෂය සම්පූර්ණයෙන්ම ජනතාවාදී පක්ෂයක් බවට පත් කරනවා. ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යගත ප‍්‍රජාතන්ත‍්‍රවාදී බවක් ඇති කරනවා. ඒ තුළ ශක්තිමත් දේශපාලන ව්‍යාපාරයක් ආරම්භ කරන්න අපි බලාපොරොත්තු වෙනවා.

ඒ නිසා වැඩකරන පන්තියට කම්කරු පන්තියට වගේම මුළුමහත් ජනතාවට ආදරයෙන් ගෞරවයෙන් ආයාචනය කරනවා අපේ ඒ අලුත් වැඩපිළිවෙළට එකතු වෙන්න කියලා. අද දවසේ ඔබ සමග එක්වීමට ලැබීම ගැන මම නැවතත් සතුට ප‍්‍රකාශ කරනවා. අද විශේෂයෙන්ම මේ මැයි රැළිය සාර්ථක කරන්න විශේෂයෙන්ම මඩකලපුව දිස්ත‍්‍රික්කයේ මැති ඇමතිවරු ඇතුළු අපට සහයෝගය දුන්න සියලුදෙනාට මම ස්තූතිවන්ත වෙනවා.

ලෝක කම්කරු දිනය සැමරීමේදි මේ රටේ පොදු මහජනතාව කම්කරු ජනතාව වෙනුවෙන් අපි කළ හැකි කළ යුතු සියලු වගකීම් සහ යුතුකම් අවංකව කැපවීමෙන් පරිත්‍යාගශීලීව ඉටු කරන බව ප‍්‍රකාශ කරමින් ඔබ සියලු දෙනාටම ජයවේවා කියා මම ඔබෙන් සමුගන්නවා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *