15න් පහළ ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් කණ්ඩායමට අධ්‍යාපන ඇමතිගෙන් සුබ පැතුම්

(කොළඹ, ලංකාපුවත්) – මැලේසියාවේ පැවති අන්තර්ජාතික වයස අවුරුදු 15 න් පහළ සිවුකොන් ක්‍රිකට් තරගාවලිය අඛණ්ඩව 11 වන වරටත් ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා වයස අවුරුදු 15 න් පහළ පාසල ක්‍රිකට් කණ්ඩායමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා තම සුබ පැතුම් පිරිනැමීය‍.

ඒ අද (10) පෙරවරුවේ අධ්‍යාපන අමාත්‍යාංශයේ දී මෙවර තරගාවලියට සහභාගි වූ ක්‍රීඩකයින්, පුහුණුකරුවන් සහ නිලධාරීන් හමු වූ අවස්ථාවේ දී ය.

මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ අභිවෘද්ධිය වෙනුවෙන් පාසල් ක්‍රිකට් හරහා සුවිශේෂ කාර්යභාරයක් සිදුකරන බව අධ්‍යාපන අමාත්‍යවරයා මේ අවස්ථාවේ දී පැවසීය. මැලේසියාවේ දී දක්ෂතා දැක්වූ මෙම ක්‍රිකට් ක්‍රීඩකයින් මෙන් ම සියලු පාසල් ක්‍රිකට් ක්‍රීඩකයින්ට ජාතික කණ්ඩායමට එක් වී තම දක්ෂතා දැක්වීමට අවස්ථාව ඇති කරලීම සඳහා අවශ්‍ය සියලුම පහසුකම් පාසල් මට්ටමින් ඇති කිරීමට පියවර ගෙන ඇති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

2004 වර්ෂයේ දී ආරම්භ කළ වයස අවුරුදු 15 න් පහළ මැලේසියානු අන්තර්ජාතික ක්‍රිකට් තරගාවලිය 2008 වසරේ සිට අඛණ්ඩව ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා වයස අවුරුදු 15 න් පහළ පාසල් ක්‍රිකට් කණ්ඩායමට හැකි වී තිබේ. මැලේසියාවේ BAYUEMAS OVAL හි දී පැවති මෙම තරගාවලියට ශ්‍රී ලංකාව සමග දකුණු අප්‍රිකාව, බංග්ලාදේශය සහ මැලේසියාව යන රටවල් සහභාගී වූහ.

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ ප්‍රබල ක්‍රීඩකයින් රැසක් ශ්‍රී ලංකා වයස අවුරුදු 15 න් පහළ පාසල් ක්‍රිකට් කණ්ඩායම් නියෝජනය කරමින් මීට පෙර අවස්ථාවලදී මෙම තරගාවලියට සහභාගී වී තිබේ.

මෙම අවස්ථාවට පාසල් ක්‍රිකට් සංගමයේ නිලධාරීන් ඇතුළු පිරිසක් එක් ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *