ඉදිරි දෙසතියේ දී තවත් ඖෂධ රැසක මිල පහළට

(කොළඹ, ලංකාපුවත්) – අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 48ක මිල අඩු කළා මෙන් ඉදිරි සති දෙකකින් තවත් ඖෂධ වර්ග ගණනාවක මිල අඩු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.

යහපාලන ආණ්ඩුව යටතේ රෝගීන්ට ලබා දිය හැකි උපරිම සහන ඉහළින්ම ලබාදීමට කටයුතු කරන බවත් එමඟින් මෙරට ක්‍රියාත්මක නිදහස් සෞඛ්‍ය සේවාව තවදුරටත් පුළුල් හා කාර්යක්ෂම වන බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

දකුණු ආසියාවේ පමණක් නොව සමස්ත ලෝකයේම රටවලට සාපේක්ෂව හොඳම සෞඛ්‍ය සේවාවක් ක්‍රියාත්මක වනුයේ ශ්‍රී ලංකාවේ බවට ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර ඇතැයි ද ඇමැතිවරයා පැවසීය.

ජාත්‍යන්තර හෙද දිනය සැමරීම සඳහා රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සංවිධානය කළ මෙම උත්සවයට සහභාගී වෙමින් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ඇමතිවරයා මේ බව ඊයේ (10) ප්‍රකාශ කළේය.

මධ්‍යම ආර්ථිකයක් පවතින රටක් වුවත් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක සෞඛ්‍ය සේවාව අමෙරිකාවේ ක්‍රියාත්මක සෞඛ්‍ය සේවාව හා සමාන වී ඇති බවත් අමෙරිකාවේ සෞඛ්‍ය මට්ටම ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය මට්ටමට වැටී ඇති බව පසුගිය දා ඉන්දියානු පුවත්පතක් මගින් වාර්තා කර තිබූ බවත් ඇමතිවරයා සිහිපත් කරන ලදි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

5 × four =