උඩරට දුම්රිය සේවකයින් හදිසි වර්ජනයක

(කොළඹ, ලංකාපුවත්) – බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රිය සහ කොළඹ කොටුවේ සිට බදුල්ල බලා ධාවනය වූ දුම්රිය අද(10) අලුයම නාවලපිටිය දුම්රිය ස්ථානයට ආසන්නයේ හදිසියේ නවතා දමා තිබේ.

අදාළ දුම්රිය සේවකයින් එලෙස සිය රාජකාරීවලින් ඉවත්ව ඇත්තේ, වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කරමිනි.

රාත්‍රී තැපැල් දුම්රිය දෙකක් මේ වන විට නාවලපිටිය දුම්රිය ස්ථානයට ආසන්නයේ නවතා දමා තිබේ. මගීන් සඳහන් කළේ, කිසිදු දැනුම් දීමකින් තොරව මෙලෙස දුම්රිය නවතා දැමීම හේතුවෙන් තමන් දැඩි අපහසුතාවට පත්ව සිටින බව ය.

දුම්රිය නියාමකවරයෙකු, ස්ථානාධිපතිවරයෙකුට තර්ජනය කිරීමේ සිදුවීමක් මුල් කර ගනිමින් රඹුක්කන සිට උඩරට දුම්රිය මාර්ගයේ සියලු දුම්රිය ස්ථානවල සේවකයින් මෙලෙස වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව වාර්තා වේ.

ඒ හේතුවෙන් රඹුක්කන සිට කොළඹ කොටුව බලා ධාවනය වන දුම්රියන් 5ක් ද අවලංගු කිරීමට සිදුව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

two × 1 =