ලබන මාසයේ ‘වෙස්ට් ඉන්ඩීස්’ යන කණ්ඩායම තෝරන්න 21ක් නම් කරයි

(කොළඹ, ලංකාපුවත්) – බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග ලබන මස පැවැත්වීමට නියමිත තරග තුනකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගමාලාව ඉලක්ක කර ගෙන ක්‍රීඩකයන් 21 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා ටෙස්ට් මූලික සංචිතයක් ජාතික ක්‍රිකට් තේරීම් නිලධාරීන් විසින් තෝරා ගෙන තිබේ.

දශකයක කාලයක් ඇතුළත යෙදී තිබෙන කැරිබියන් දූපත්හි මේ පළමු ටෙස්ට් සංචාරය සඳහා ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය ඊයේ සිට දින අටක් පල්ලෙකැලේදී පුහුණු වනු ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙම 25 වැනිදා දිවයිනෙන් පිටත්ව යනු ඇත. පළමු තරගය ජූනි 6 වැනිදා පෝට් ඔෆ් ස්පේන්හි ආරම්භ වන අතර දිවා/රාත්‍රී තරගයක් වන දෙවැනි ටෙස්ට් ගැටුම ජූනි 14 වැනිදා සාන්ත ලුසියාහිදී ආරම්භ වීමට නියමිතය. තෙවැනි හා අවසාන තරගය බාබෙඩෝස්හිදීය. එය ජූනි 23වැනිදා ආරම්භ වනු ඇත.

පසුගිය සතියේ පුහුණුවීම්වලදී ඇඟිල්ලේ ආබාධයකට ලක්වූ දිමුත් කරුණාරත්න වෙනුවට තේරීම් නිලධාරීන් විසින් පළපුරුදු වමත් පිතිකරු මහේල උඩවත්ත කැඳවා තිබේ.

මුල් පෙල පිතිකරුවෙකු වන 31 හැවිරිදි උඩවත්ත, 2008 වසරේදී ප්‍රථම වතාවට ජාත්‍යන්තර සීමිත ඕවර තරගයකට සහභාගි වූවද මෙතෙක් ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ක්‍රීඩා කර නැත. මෑතකදී අවසන් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් පළාත් සිවුදින තරගාවලියේදී ඔහු 56.60 සාමාන්‍යයකින් යුතුව ලකුණු 283ක් වාර්තා කළ අතර මේ දිනවල පැවැත්වෙන සීමිත ඕවර තරගාවලියේදී ලකුණු 71 හා 116ක අගනා ඉනිම ක්‍රීඩා කර තිබේ.

නවක වේග පන්දු යවන්නන් වන කසුන් රාජිත හා නිසල තාරක ද පළාත් තරගාවලියේදී ඔවුන් දැක්වූ දස්කම් මත සංචිතයට නම් කර තිබේ. බංග්ලාදේශයේදී පසුගිය පෙබරවාරියේ ආබාධයකට ලක්වූ ෂෙශාන් මදුශංක ද එම ආබාධයෙන් සම්පූර්ණ සුවය ලබා සංචිතයට එක්ව සිටී.

කඩුලු රකින පිතිකරු කුසල් ජනිත් පෙරේරා හා වේග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක ද සංචිතයට ඇතුළත්ව සිටිති.

තේරීම් නිලධාරීන් විසින් ලබන සතියේදී මේ සංචිතය 17 දක්වා අඩු කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මූලික සංචිතය: දිනේෂ් චන්දිමාල් (නායක), ඇන්ජලෝ මැතිව්ස්, කුසල් මෙන්ඩිස්, කුසල් ජනිත් පෙරේරා, ධනංජය ද සිල්වා, රොෂේන් සිල්වා, නිරෝෂන් දික්වැල්ල, මහේල උඩවත්ත, දසුන් ශානක, රංගන හේරත්, ඩිල්රුවන් පෙරේරා, ජෙෆ්රි වැන්ඩසේ, අකිල ධනංජය, ලක්ෂාන් සඳකැන්, සුරංග ලක්මාල්, ලහිරු ගමගේ, ලහිරු කුමාර, ෂෙහාන් මදුශංක, කසුන් රාජිත, අසිත ප්‍රනාන්දු, නිසල තාරක.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

11 + 7 =