කෘෂි අංශයේ ආයෝජන පුළුල් කිරීමට චීන ආයෝජකයින්ගේ අවධානය

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම ක්ෂේත්‍රය තුළ ආයෝජන අවස්ථාවන් පුළුල් කිරීම සඳහා අවස්ථාවන් ඇති කිරීම පිළිබඳව විශේෂ සාකච්ඡාවක් ඊයේ (10) පස්වරුවේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැත්විනි.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවට චීනයේ ග්වැන්ග්ඩොන්ග් GUANGDONGහි ඇගිලිටි සමුහ ව්‍යාපාරයේ AGILITY GROUP නියෝජිත පිරිසක් සහභාගි වී සිටියහ.

ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර, අමාත්‍යාංශයේ ලේකම් බී. විජේරත්න යන මහත්වරු ද චීන නියෝජිත පිරිස ද සහභාගි වුහ.

විශේෂයෙන් ශ්‍රී ලංකාවේ ගොවීන් විසින් නිපදවන පලතුරු, එළවළු ආදි ඉක්මනින් නරක් වෙන සුළු ද්‍රව්‍ය කල් තබා ගැනීම, පසු අස්වනු නාස්තිය වැළැක්වීම, එළවළු හා පලතුරු කල්තබා ගැනීම සඳහා නව තාක්ෂණික ක්‍රමවේද භාවිතා කරමින් ශිතාගාර පහසුකම් ඇති කිරීම, කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ කෘෂි යන්ත්‍රෝපකරණ නිපදවීම සහ කාබනික පොහොර නිපදවීම සඳහා අවස්ථා ඇති කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් පළ විය.

ඒ අනුව එම කාරණා සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම අංශය තුළ ආයෝජන අවස්ථා පුළුල් කිරීමට ග්වැන්ග්ඩොන්ග් ඇගිලිටි ආයතනයේ නියෝජිත පිරිස එකගතාවය පළ කළේය.ඔවුන් විසින් ඉදිරිපත් කරන යෝජනාවන්හි රටට ඇති වැදගත්කම සළකා ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

වැඩිදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා කාබනික වගාව යොදා ගැනීම මගින වගා කෙරෙන සහල් සඳහා දේශීය වෙළෙඳපොල තුළ ඉහළ ඉල්ලුමක් තිබේ. එයට හේතුව කාබනික වගාව මගින් වගා කෙරෙන්නේ අප රටේ සාම්ප්‍රධායික වී වර්ග වීමයි. එම සහල් ආහාරයට ගැනීම මගින් වර්තමානයේ වර්ධනය වෙමින් පවතින දැඩි අර්බුදයක් වන දියවැඩියාව, පිළිකාව වැනි ඇතැම් බෝ නොවන රෝග පවා වළක්වා ගැනීමේ හැකියාවක් පවතින බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

එමෙන්ම දේශීය පලතුරු ඉතාමත් ඉහළ පෝශ්‍යදායි ගුණයෙන්යුක්ත වන අතර ඒවා පරිභෝජනයට ජනතාව පෙළඹවීම හා ජාත්‍යන්තර වෙලෙඳපොල තුළ අවස්ථාවන් ඇති කර ගැනීම ගැනීම කෙරෙහි ද තමන්ගේ අවධානය යොමුව පවතින බව කීය.

අප රටේ කෘෂි භෝග රට තුළ පරිභෝජනයට මෙන්ම අපනයන ආදායම් ඉහළ නැංවීම ඉළක්ක කර ගනිමින් වගා කිරීමට ගොවි ජනතාව පෙළඹවීම රජයේ අරමුණ බවත්, ඒ සඳහා චීනය වැනි තාක්ෂණය ඉහළ මට්ටමක පවතින රටවල සහයෝගය ලබා ගැනීමට තමන් අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *