ඉතාලි රැකියා පෙන්වා මුදල් ගැරූ කත අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – ඉතාලියේ රැකියා ලබා දෙන බව පවසා පුද්ගලයින්ගෙන් මුදල් වංචාකළ කාන්තාවක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පුත්තලම, වනාතවිල්ලූව ප‍්‍රදේශයේ පදිංචි ඉන්ද්‍රානි ඩේවිඩ් නැමැති කාන්තාවකි.
ඉතාලියේ රැකියා ලබාදෙන බව පවසා මුදල් ලබාගෙන පොරොන්දු වූ පරිදි රැකියාව ලබානොදුන් බවට අනුරාධපුර හා කුරුණෑගල යන ප‍්‍රදේශවල පුද්ගලයින් කාර්යාංශයට සිදුකරන ලද පැමිණිලි අනුව කි‍්‍රයාත්මක වූ විමර්ශන නිළධාරීන් මෙම වැටලීම මෙහෙයවන ලදී. එහිදී හෙළිවී ඇත්තේ මෙම කාන්තාව ඉතාලි රැකියා ලබා දෙන බව පවසා රුපියල් ලක්ෂ 7 සිට ලක්ෂ 15 දක්වා පුද්ගලයින් රැසකගෙන් මුදල් වංචාකර ඇති බවයි. මීට පෙර මුදල් ලබාදුන් පුද්ගලයින් විසින් ඇයගේ නිවස ඉදිරිපිට විරෝධතාවක්ද පළකර තිබේ.

ඒ අනුව විමර්ශන නිළධාරීන් ඇයගේ නිවස වටලන ලද අතර, ඒ වන විට ඇය නිවසෙන් පලාගොස් සැඟවී සිට තිබේ. ඇයගේ නිවස පරික්ෂා කිරීමේදී මුදල් ලබාදුන් පුද්ගලයින්ගේ උප්පැන්න සහතික ඡායා පිටපත්, ගුවන් ගමන් බලපත‍්‍රවල පිටපත් හා අනෙකුත් ලේඛන රැසක් විමර්ශන නිළධාරීන් භාරයට ගෙන තිබේ.

මෙම සැකකාරියට විරුද්ධව දික්වැල්ල පොලිසියටද පැමිණිලි ඉදිරිපත්ව ඇති අතර, මිරිහාන පොලිසිය වරෙන්තුවක්ද නිකුත් කර තිබේ. එයට අමතරව කුරුණෑගල, ගලෙන්බිදුණුවැව, පුත්තලම, මීරිගම, ගම්පහ, පොළොන්නරුව යන පොලිසිවලටද පැමිණිලි ඉදිරිපත්ව තිබේ.

පොලිස් නිළධාරීන්ගෙන් සැඟවී සිටි ඇය කාර්යාංශයේද සහය ඇතිව දික්වැල්ල පොලිසිය විසින් ඉකුත් 12වනදා අත්අඩංගුවට ගෙන මාතර මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති අතර, මැයි මස 21 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

අත්අඩංගුවට ගත් ලිපිලේඛන මේවන විට අධිකරණ භාරයේ පවතී. කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකය මගින් මෙහි වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *