13 වසරක සහතික කළ අධ්‍යාපන වැඩසටහන අනුව ප්‍රායෝගික පුහුණුව රාජ්‍ය සහ පෞද්ගලික ආයතන තුළ ම

(කොළඹ, ලංකාපුවත්) – වසර 13 ක සහතික කළ අධ්‍යාපන වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක කිරීමට රජයේ ආයතන මෙන්ම පිළිගත් පෞද්ගලික ආයතන රැසක සහයෝගය ලබාගැනීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

ඒ වෙනුවෙන් ඉදිරිපත් වූ ආයතන වෙත ස්තුතිය ප්‍රකාශ කළ අමාත්‍යවරයා මෙරට උන්නතිය වෙනුවෙන් සිදු කරන කටයුතුවලදී රජයේ ආයතන සහ පෞද්ගලික ආයතන සැලසුම් සහගතව සාමූහිකව ක්‍රියාත්මක වීම අත්‍යවශ්‍ය බව ද පෙන්වා දුන්නේය.

අමාත්‍යවරයා මේ අදහස් ප්‍රකාශ කළේ අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවති 13 වසරක සහතික කළ අධ්‍යාපන වැඩසටහන ක්‍රියාත්මක කිරීම සම්බන්ධව රජයේ සහ පෞද්ගලික ආයතනවල නිලධාරීන් සමග පැවැති සාකච්ඡාවකට එක්වෙමිනි.

මෙම සාකච්ඡාව සඳහා ජාතික අධ්‍යාපන ආයතනය, ශ්‍රී ලංකා ටෙලිකොම්, MAGA ඉංජිනේරු සමාගම, පොල් සංවර්ධන මණ්ඩලය, නවලෝක රෝහල, පේරාදෙණිය කෘෂි කර්ම දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා ජර්මන් දුම්රිය කාර්මික අභ්‍යාස ආයතනය, ලංකා විදුලි බල මණ්ඩලය, ජාතික තරුණ සේවා සභාව, Esoft Metro Campus, AMW ආයතනය, NSBM, NIBM, ටවර්හෝල් රඟහල පදනම, ජාතික ශිල්ප සභාව, Sri Lanka Institute of Textile and Apparel, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනය ඇතුළු රජයේ සහ පෞද්ගලික ආයතන රැසක නිලධාරීන් පිරිසක් සහභාගි වූහ.

13 වසරක සහතික කළ අධ්‍යාපන වැඩසටහනට ඇතුළත් සිසුන්ට තමා තෝරාගත් විෂයයට අදාළ වෘත්තීන් හෝ උසස් අධ්‍යාපන ප්‍රවේශයන් කරා ළගා වීමට අවශ්‍ය නිපුණතා හා කුසලතා ලබා ගැනීමට නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශය හා ඒකාබද්ධව ක්‍රියාත්මක පුහුණුව ලබා දෙන ආයතන මගින් පැවත්වීමටත් ඒ මගින් ආවරණය නොවන වෘත්තීය විෂයයන් වෙනත් රජයේ සහ පිළිගත් පෞද්ගලික ආයතන මගින් සිදු කිරීමටත් යෝජනා වී තිබේ. ආයතන තෝරාගැනීමේ දී ප්‍රදේශය සහ පුහුණුව ලබා දෙන විෂයන් සම්බන්ධව ද අවධානය යොමු කෙරේ.

සිසුන්ට තෝරාගත් විෂයයට අදාළව නූතනත්වයට ගැළපෙන පරිදි ප්‍රායෝගික පුහුණුව එම ආයතන තුළ ම ලබාදීමට සැලසුම් කර ඇත. එහිදී ජාත්‍යන්තර සහ දේශීයව පිළිගත් ප්‍රමිතීන් මෙන්ම සිසුන්ගේ ආරක්ෂාව සහ පවතින නීතිමය තත්ත්වයන් ද සැලකිල්ලට ගනිමින් එම ආයතන තෝරාගැනීම සහ පුහුණු කටයුතු සිදු කිරීම සම්බන්ධ උපදෙස් මාලාවක් නිකුත් කිරීමටත් නියමිතය.

අධ්‍යාපන අමාත්‍යවරයාගේ මූලිකත්වයෙන් හඳුන්වාදුන් 13 වසරක සහතික කළ අධ්‍යාපන වැඩසටහන යටතේ ප්‍රායෝගික වැඩ ලෝකයට ගැළපෙන වෘත්තීය විෂයන් 26ක් පාසල් විෂයමාලාවට එක්කර තිබේ. අ.පො.ස (සා.පෙළ) සමත් / අසමත් සියලු සිසුන්ට මෙම වෘත්තීය විෂය ධාරාව යටතේ අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව සැලසේ.

මෙම වැඩසටහනේ පළමු අදියර යටතේ පාසල් 42 ක සිසු දරුවන් 2,400 ක් මේ වන විටත් අධ්‍යාපනය හදාරනු ලැබේ. වැඩසටහනේ දෙවන අදියර 2018 මැයි මස අවසන් වීමට පෙර ආරම්භ කිරීමට සැලසුම් කර ඇති අතර ඒ අනුව තවත් පාසල් 150 ක සිසුන් 14,000 කට වෘත්තිය විෂය ධාරාව යටතේ අධ්‍යාපන කටයුතුවල නියැලීමට අවස්ථාව සැලසේ.

අධ්‍යාපන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවට අධ්‍යාපන රාජ්‍ය ලේකම්වරයා ඇතුලු අමාත්‍යාංශ නිලධාරීන් පිරිසක් ද රාජ්‍ය සහ පෞද්ගලික ආයතන රැසක නිලධාරීන් පිරිසක් ද එක්ව සිටි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

fourteen − fourteen =