මධ්‍යම අධිවේගයේ ප්‍රථම අදියර වෙනුවෙන් චීනයෙන් ඇ.ඩො. බිලියනයක්

(කොළඹ, ලංකාපුවත්) – මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියරේ ඉදිකිරිම් සඳහා අමෙරිකානු ඩොලර් බිලියනක ණය මුදලක් ලබාදීමට චීන රජය එකඟතාව පල කර තිබේ.

මෙරට චීන තානාපති චෙන් ෂුවාන් මහතා ඊයේ(14) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවි ඒ පිළිබඳව දැනුම් දී ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

අදාළ ණය මුදල චීන එක්සිම් බැංකුව මඟින් ලබාදීමට චීන රජය උපදෙස් ලබා දී ඇති බව චීන තානාපතිවරයා අග්‍රාමාත්‍යනවරයාව දැනුවත් කර තිබේ.

ණය මුදල ලබාගැනීමට අවශ්‍ය පරිපාලනමය සහ නීතිමය කටයුතු කඩිනම් කරන ලෙස ශ්‍රී ලංකා පාර්ශවයෙන් ඉල්ලීමක් කරන බව චීන තානාපතිවරයා එහිදි ප්‍රකාශ කර ඇත.

මේ අතර හම්බන්තොට සහ කොළඹ වරාය නගර ව්‍යාපෘති පිළිබඳව ද අග්‍රාමාත්‍යවරයා සහ චීන තානාපති චෙන් ෂුවාන් මහතා අතර සාකච්ඡා කර තිබේ.

හම්බන්තොට වරායේ ආයෝජනය සඳහා උසස් නිෂ්පාදන ආයතන ගෙන්වා ගැනීමට දිරිගැන්වීම් සිදුකරන බව චීන තානාපතිවරයා මෙහිදි ප්‍රකාශ කර ඇත.

හම්බන්තොට සහ කොළඹ වරාය නගර ව්‍යාපෘති දෙක සාර්ථකව ඉදිරියට යාමේ දී එය ශ්‍රී ලංකා ආර්ථිකයේ එන්ජිම බවට පත්වනු ඇති බව ද චීන තානාපතිවරයා පවසයි.

එමෙන්ම චීන – ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම අත්සන් කිරීමට අදාළ සාකච්ඡා කඩිනම් කරන ලෙස ද චීන තානාපති චෙන් ෂුවාන් මහතා ඉල්ලීමක් කර තිබේ.

චීන ආධාර යටතේ ක්‍රියාත්මක ජල ව්‍යාපෘති පිළිබඳව ද චීන තානාපතිවරයා අග්‍රාමාත්‍යවරයා සමඟ සාකච්ඡා කළ බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.

හම්බන්තොට වරාය ගිවිසුමට අනුව අවසන් අදියරේ මුදල් ලබන ජුනි මස 9 වන දින ලබාදෙන බව ද එමඟින් මෙරට විදේශ සංචිත ඉහළ යනු ඇති බව ද චීන තානාපති චෙන් ෂුවාන් මහතා මෙහිදි වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *