අනුරුද්ධ පොල්ගම්පල රහස් පොලිස් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මෙන්ම රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති අනුරුද්ධ පොල්ගම්පල මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් පැවති නඩු විභාගයකට ඉදිරිපත් නොවීම හේතුවෙන් නිකුත් කර තිබූ වරෙන්තුවක් මත ඔහු ඊයේ (15) අත්අඩංගුවට ගෙන ඇත.

අනුරුද්ධ පොල්ගම්පල පසුගියදා රාජ්‍ය දැව සංස්ථාවේ සභාපතිවරයා ලෙස පත් කිරීමෙන් දින කිහිපයකට පසු එම ධූරයෙන් ඉවත් කෙරුණි.

ඉකුත් රජය සමයේ උතුරු වසන්තය යටතේ සිදුකළ සංවර්ධන ව්‍යාපෘති සඳහා පස් සැපයීමේ කොන්ත්‍රාත්තුවක් ලබාගෙන ඇති අනුරුද්ධ පොල්ගම්පල, පස් සැපයූ සැපයුම්කරුවන් වෙත ගෙවීමට තිබූ රුපියල් ලක්ෂ 80 ක් පමණ වංචා කර ඇති අතර ඔහු ඒ සඳහා අගරු චෙක්පත් ලබාදී තිබේ. කිලිනොච්චි අධිකරණයේ ඔහුට එරෙහිව පස් සැපයුම්කරුවන් විසින් නඩුවක් ගොනුකර ඇති අතර අත්අඩංගුවට ගත් පොල්ගම්පල මාස කිහිපයක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටියේය.

ඇපමත නිදහස් කෙරුණු පොල්ගම්පල පසුව දිගින් දිගටම අධිකරණය මගහැර තිබේ. එසේ දිගින් දිගටම අධිකරණය මගහැර සිටීම හේතුවෙන් ඔහු රහස් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මුල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ඔහු 2017 වසරේදී මිරිහාන විශේෂ විමර්ශන ඒකකයේ අත්අඩංගුවට ද පත්විය. මීට අමතරව තවත් මුල්‍ය වංචා සම්බන්ධ චෝදනා කිහිපයක් ඔහුට එල්ල වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

twelve − 9 =