නොරොච්චෝලේ ආම්ලික වායුව ශ්‍රී මහා බෝධීන් වහන්සේට අනතුරුදායකදැයි විමර්ශනයක්

(කොළඹ, ලංකාපුවත්) – නොරොච්චෝලේ බලාගාරයෙන් ගල් අඟුරු දහනය වීමෙන් පිටවන ආම්ලික වායු නිසා ශ්‍රී මහා බෝධීන් වහන්සේට හානියක් සිදුවන්නේද යන්න පිළිබඳව සෙවීම සඳහා මධ්‍යම පරිසර අධිකාරිය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

පරිසර විද්‍යාඥ ආචාර්ය රනිල් සේනානායක මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සදහන් කර සිටියේ ඉදිරියේදී සක්‍රීය වනු ඇතැයි අපේක්ෂිත නිරිතදිග මෝසමත් සමඟ විෂ ආම්ලික සහිත වලාකුළු අනුරාධපුර ශ්‍රී මහා බෝධීන් වහන්සේ දෙසට පැතිර යාමේ අවදානමක් පවතින බවයි.

ගල් අඟුරු දහනය වීමෙන් බැරලෝහ මෙන්ම සල්ෆර්ඩයොක්සයිඩ් වැනි විෂ වායු පිටවන අතර, මෙමඟින් අම්ල වැසි ඇතිවන බව ඔහු අවධාරණය කර සිටියේය.

කෙසේ වෙතත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂවරයෙකු වන කේ.ආර්. අබේසිංහ පවසන්නේ නිරිතදිග මෝසම් සුළං ඍජුවම අනුරාධපුරය දෙසට පැතිර යනු ඇතැයි නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බවයි.

ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ නඩත්තු කටයුතු භාරව සිටින ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය ෂෙලෝමි ක්‍රිෂ්ණරාජා කියා සිටියේ මෙතෙක් එවැනි තක්සේරු වාර්තාවක් ලැබී නොමැති බවත් ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ සංරක්ෂණය කිරීම සඳහා උපරිම වෑයම දරණ බවත්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

4 × four =