(කොළඹ, ලංකාපුවත්) – දේශීය සිනමාව පෝෂණය කිරීමට කාලය ශ්‍රමය කැප කර විශ්‍රාමිකව සිටින කලාකරුවන් අගයනු වස් මාසික දීමනාවක් ප්රදානය කිරීමේ නිල උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(15) පස්වරුවේ ජාතික චිත්‍රපට සංස්ථා සිනමා ශාලාවේදී පැවැත්විණි.
දීමනා ප්රදානය සංකේතවත් කරමින් කලාකරුවන් 20 දෙනෙකු වෙත අදාළ චෙක්පත් පිළිගැන්වීම ජනාධිපතිතුමා අතින් සිදුවිය.
මෙරට සිනමා ක්ෂේත්රයට අමිල මෙහෙවරක් සිදුකළ ප්‍රවීණ සිනමාකරුවෙකු හා ජාතික චිත්‍රපට සංස්ථාවේ ප්‍රථම සාමාන්‍යාධිකාරිවරයා මෙන්ම ප්‍රධාන විධායක නිලධාරියා වූ ආචාර්ය ඩී.බී. නිහාල්සිංහ මහතාගේ ඡායාරූපයක් ජාතික චිත්‍රපට සංස්ථාව තුළ නිරාවරණය කිරීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදුවිය. ආචාර්ය ඩී.බී. නිහාල්සිංහ මැතිණිය වන වෛද්‍ය කල්යානි නිහාල්සිංහ මැතිණිය ද එම අවස්ථාවට එක්ව සිටියාය.
අමාත්‍යවරුන් වන විජයදාස රාජපක්ෂ, රංජිත් මද්දුමබණ්ඩාර, රාජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරු යන මහත්වරුන් ද ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති සිතේන්ද්‍ර සේනාරත්න මහතා සහ ප්‍රවීණ සිනමා ශිල්පීන් වන රවින්ද්‍ර රන්දෙනිය, මාලනී ෆොන්සේකා යන මහත්ම මහත්මීන් ඇතුළු කලාකරුවන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.