මහියංගණය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට මුල්ගල් තැබූ ආදිවාසී නායකයා

(කොළඹ, ලංකාපුවත්) –”බුදු හාමුදුරුවෝ මුලින්ම වැඩමකරපු මහියංගනය ගැන හුඟක් අය හිතුවේ පහත් තැනක් කියලා. ඒ නිසා මා කැකුලා කාලේ අප්පිලෑ ඇත්තන් එක්ක පයින්ම දිසාපති කාර්යාලයට යනවිට මේ ප්රිදේශය කැලෑවෙන් වැහිලා තිබුණේ. අපේ මේ ගම්මාන දියුණු කරන්න අද නව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් ඉදිකරන්න කටයුතු කිරීම ගැන ස්තූති කරනවා.” යැයි ආදිවාසී නායක ඌරුවරිගේ වන්නියලෑත්තෝ පැවසීය.

ආදිවාසී නායකයා මේ බව කියා සිටියේ පසුගිය 14වනදා මහියංගණය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීමේ අවස්ථාවට එක්වෙමිනි. ස්වදේශ කටයුතු අමාත්යා වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයේ දී ඇමැතිවරයා සමග එක්ව ආදිවාසී නායකයා ගොඩනැගිල්ලට මුල්ගල් තැබුවේය.

රුපියල් ලක්ෂ 1800ක වියදමින් අංග සම්පූර්ණ නව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ මූල්‍ය ප්‍රතිපාදන මගින් ඉදිකිරීමට නියමිතය.

උත්සව සභාව ඇමතූ වන්නියලෑත්තෝ මෙසේ ද කීවේය.

”මට අද ගොඩක් සතුටුයි. මගේ මතකයේ තිබෙනවා මම කැකුලා කාලේ අප්පිලා ඇත්තෝ ඒකක පයින්ම දිසා කාර්යාලයට ගිය හැටි. මේ ඇත්තන්ගේ ලේකම් කාර්යාලයට ඇවිත් වැඩ කරවා ගත්තු හැටි. ඒ දවස්වල මේ ප්‍රදේශවල වැඩිපුර තිබුණේ කැලෑ. පාරවල් තිබුණේ නෑ. මේ ඉතිහාසය කියන්න ගියොත් අපේ ඇමැතිතුමාට අද දවසම මෙතැන ඉන්න වෙනවා. බුදු හාමුදුරුවෝ මුලින්ම මේ මහියංගණයට වැඩම කළේ මේ ප්‍රදේශයේ වටිනාකම තේරුම් අරගෙන. එදා හිටියේ යක්ෂ ගෝත්‍රිකයෝ. මේ යක්ෂ ගෝත්‍රිකයන්ට බුදු හාමුදුරුවෝ වැඩමකරලා බණ කිව්වා. ඒ නිසා මෙතැන ඉතා වටිනා තැනක්. මේ තමයි රටේ වටිනාම තැන. බුදු හාමුදුරුවෝ කොළඹට, ගාල්ලට, මාතරට වැඩම කළේ නෑ. වැඩමකළේ මහියංගණයට. මේ ප්‍රදේශයේ ඒ කාලේ හිටපු යක්ෂ ගෝත්‍රිකයන්ට ඒ බුදු දහම තේරුම් ගන්න හැකියාව තිබිලා තියෙනවා. ඒත් අද මහවැලි නදියෙන් එහාට ගියාම අපේ මේ ප්රරදේශය පහත් තැනක් කියලා තමයි වැඩි දෙනෙක් හිතන්නේ. ඒක වැරදියි. අද ආරම්භ කරන මේ වැඩෙන් මහියංගණයට දියුණු වේවි. ඒ වැඩේ සමන් දෙවියන්ගේ ආශිර්වාදයෙන්, කළුබණ්ඩාර දෙයියන්ගේ ආශිර්වාදයෙන්, මහලොකු මෑණියන්ගේ ආශිර්වාදයෙන් සාර්ථක වෙන්න කියා අපි ආශිර්වාද කරනවා.”

මෙම උත්සව සභාව අමතමින් වජිර අබේවර්ධන අමාත්‍යවරයා මෙසේ කීවේය.

”මේ රටේ ප්‍රාදේශීය පරිපාලනයේ ලොකු තදබදයක් තියෙනවා. ඇතැම් කාර්යාල කුකුල් කූඩු වගේ. අපි මේ සියල්ල හෙට ලෝකයට ගැලපෙන විදියට නවීකරණය කරනවා. දැනට තියෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගණන 332යි. ඒ සංඛ්‍යාව 365ක් බවට පත්කරලා සියලු කාර්යාල නවීකරණය කරනවා.

අපේ රජය බලයට පත්වූ දින පටන් දිස්ත්‍රික් හා ප්‍රාදේශීය පරිපාලනය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කළා. ඇතැම් ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගරා වැටෙන මට්ටමට පත්වෙලා තිබුණා. ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පවත්වාගෙන යන්නේ ගෙදරක. අපි ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම රජයේ කාර්යාල එකතැනකට ගෙන එන්න පුළුවන් දිස්ත්‍රික් පරිපාලන සංකීර්ණයක් හදන්න රුපියල් බිලියන හතරක් වියදම් කර තිබෙනවා. පොළොන්නරුව, යාපනය, මුලතිව් දිස්ත්‍රික් පරිපාලන සංකීර්ණ ඉදිකරමින් තිබෙනවා.

අපේ අපේක්ෂාව වෙන්නේ 2020 වනවිට මේ රටේ සියලුම ප්‍රාදේශීය පරිපාලන කාර්යාල නවීකරණය කරලා ජනතාවට ලබාදෙන සේවය වඩාත් කාර්යක්ෂම කරන්න. මේ කාර්යාලවල ඉඩ ප්‍රමාණවත් වුණේ නැහැ. කුකුල් කූඩු වගේ කාර්යාල තිබෙන විට ගුණාත්මක සේවයක් ලබා දීම අපහසුයි. ඒ නිසා අපිට භෞතික සම්පත් වැඩිදියුණු කරන් සිදුවුණා. මේ වනවිට රටේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 332න් 220ක් පමණ නවීකරණය කරගෙන යනවා. ”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *