එප්පාවල පොස්පේට් නිධිය සම්බන්ධයෙන් ශක්‍යතා අධ්‍යයනයක් සඳහා විද්වත් කමිටුවක්

(කොළඹ, ලංකාපුවත්) –එප්පාවල පොස්පේට් නිධිය මඟින් විධිමත් පරිදි පොහොර නිෂ්පාදනය නොවන නිසා ඒ පිළිබඳ කෘෂිකර්ම අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබේ.

ඉකුත් 16 වනදා පස්වරුවේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී නිලධාරීන් පිරිසක් හමු වූ අමාත්‍යවරයා එප්පාවල පොස්පේට් ව්‍යාපෘතිය පිළිබඳ කරුණු විමසීය. එහිදී හෙළිදරව් වූයේ දැනට ලෝකයේ තිබෙන හොඳම පොස්පේට් අතර කැඩ්මියම් අවම පොස්පේට් විශේෂය එප්පාවල පොස්පේට් නිධිය තුළ පවතින බවයි.

මෙම පොස්පේට් වල දියවීමේ හැකියාව වැඩිකිරීම සඳහා වනක්‍රියාවලිය උදෙසා රු.මි. 9,000 ක මුදලක් අවශ්‍ය වන අතර එම මුදල රජය මඟින් යොදන්නේ නම් රජය මැදිහත්වීමෙන් රටට අවශ්‍ය සමස්තපොස්පේට් පොහොර ප්‍රමාණය එප්පාවල පොස්පේට් නිධිය මඟින් නිපදවිය හැකි බව නිලධාරීහු පෙන්වා දුන්හ.

ඒ අනුව එමඟින් ලැබෙන ආර්ථික ප්‍රතිලාභ, සකස් කිරීමේ විභවයන් හඳුනාගැනීම, ඉදිරි ක්‍රියාමාර්ග සඳහා උපායමාර්ග ඇතුළත් සැලැස්මක් සැකසීම, ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ඇස්තමේන්තුගත මුදල් ප්‍රමාණය සහ මෙහි සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් මහජනතාවගේ අදහස් හා යෝජනා ලබාගැනීම වැනි කරුණු ඇතුළත් වන පරිදි ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීමට අමාත්‍යවරයා විසින් විද්වත් කමිටුවක් පත්කරනු ලැබීය.

එම විද්වත් කමිටුවේ සභාපති වශයෙන් කෘෂිකර්ම රාජ්‍ය ලේකම් ඩී.වී. බන්දුලසේන මහතා කටයුතු කරන අතර ආචාර්ය ඩබ්.එම්.ඩබ්. වීරකෝන්, ඩබ්.එම්.එම්.බී. වීරසේකර, එස්.එල්.ජී. බන්දුසිරි, ආචාර්ය ජෙරී ජයවර්ධන, ආචාර්ය ජේ.ඩී.එච්. විජේවර්ධන, ඩබ්.ආර්.යූ.ඩී. බණ්ඩාර සහ ප්‍රභාත් විතාරණ යන මහත්වරුන්ගෙන් මෙම විද්වත් කමිටුව සමන්විතය.

මෙකී විද්වත් කමිටුව පත්කරමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා කියා සිටියේ පොහොර මිලදී ගැනීම සඳහා රු.මි. 35,000 කට වැඩි ප්‍රමාණයක් විදේශ රටවලට ඇදී යන බැවින් මිලියන 9,000 ක් දේශීය පොහොර නිෂ්පාදනය කිරීම සඳහා යෙදීම කිසිසේත්ම අසාධාරණ නොවන බවයි. එම නිසා 2019 ජනවාරි, පෙබරවාරි මාස වන විට එප්පාවල පොස්පේට් නිධිය මඟින් දේශීය පොහොර නිෂ්පාදනය ආරම්භ කිරීම ඉලක්ක කරමින් වැඩකටයුතු කළ යුතු යැයි ද අමාත්‍යවරයා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *