පටු අරමුණු සහ පෞද්ගලික න්‍යායපත්‍රයන් මුදුන් පමුණුවාගැනීමට රණවිරුවන් භාවිත නොකළ යුතුයි

(කොළඹ, ලංකාපුවත්) – පටු අරමුණු සහ පෞද්ගලික න්‍යායපත්‍රයන් මුදුන් පමුණුවාගැනීම සදහා රණවිරුවන් භාවිත නොකළ යුතු බව යුද හමුදා මූලස්ථානය නිවේදනය කරයි.

ආවේගශීලී ක්‍රියාවලින් තොරව රණවිරුවන්ට කෘතගුණ සැලසීම සිදුකළ යුතු බවයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා සදහන් කරනු ලැබේ.

ත්‍රස්තවාදය මෙරටින් මුලිනුපුටාදමා ලබන 19 වන දිනට වසර නවයක් සම්පූර්ණ වේ. ලැබූ නිදහස භුක්තිවිඳිය යුත්තේ පුරසාරම් දෙඩීමෙන් හෝ උදම්ඇනීමෙන් නොවන බවද මෙම නිවේදනයේ සදහන් ය.

ඊලාම් රාජ්‍යයක් ගොඩනැගීම සදහා ඩයස්පෝරාවේ ද සහාය ඇතිව කටයුතු කළ එල්ටීටීඊ සංවිධානය පරාජය කරමින් , මිනිස් පලිහක් ලෙස භාවිත කළ ලක්ෂ සංඛ්‍යාත දෙමළ වැසියන් මුදාගැනීමට ආරක්ෂක අංශවලට හැකිවූ බව මහේෂ් සේනානායක මහතා පෙන්වා දෙයි.

යුද හමුදාව මියගිය රණවිරුවන් සැමරීම සදහා විශේෂ වැඩපිළිවෙළක් සකස් කර ඇති බවද යුද හමුදාපතිවරයා සදහන් කරනු ලැබේ. සෑම රෙජිමේන්තු මධ්‍යස්ථානයකදීම හමුදාපතිවරයා නිකුත් කළ විශේෂ පණිවුඩයක් ප්‍රකාශයට පත්කෙරෙන අතර රණවිරුවන් සිහිකරමින් ආගමික වතාවත් සිදුකිරීමට නියමිතය.

මේ මස 19 වන දින ජාතික රණවිරු මධ්‍යස්ථානය අභියසදී පැවැත්වෙන රණවිරු සැමරුම් උත්සවයට යුද හමුදාව සක්‍රීයව දායකත්වය ලබාදෙනු ඇත.

කැලණිය රජමහා විහාරයේ පැවැත්වෙන ආලෝක පූජාවට ද යුද හමුදාව දායකත්වය සපයයි. මෙරට යළිත් යුද්ධයක් ඇති නොවීම සදහා බුද්ධිමත්ව කටයුතු කිරීම සියලු දෙනාගේ වගකීම බව යුද හමුදාපතිවරයා පෙන්වා දෙනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

six + 17 =