වෙළඳපොළ ඉලක්ක කරගත් කිරි නිෂ්පාදන ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කරනවා – අගමැති

(කොළඹ, ලංකාපුවත්) – අමෙරිකා එක්සත් ජනපදයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ආධාර මත ක්‍රියාත්මක වෙළඳපොළ ඉලක්කගත කිරි නිෂ්පාදන වැඩසටහන ඔස්සේ මෙරට කුඩා හා මධ්‍යම පරිමාණ කිරි ගොවියන්ට තම නිෂ්පාදන වැඩි කර ගැනීමට අවස්ථාව උදාවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඉන්ටර්නැෂනල් එක්සෙකටිව් සර්විස් කෝප්ස් ආයතනය හරහා ක්‍රියාත්මක කරන “වෙළෙඳපොළ යොමු කිරි නිෂ්පාදන” ව්‍යාපෘතිය හඳුන්වාදීමේ උත්සවයට එක් වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

එය ඊයේ (17) කොළඹ Mövenpick හෝටලයේ දී පැවැත්විණි.

ලාංකේය කිරි ආහාර ක්ෂේත්‍රය ශක්තිමත් කිරීම හා ප්‍රවර්ධනය කිරීම සඳහා අමෙරිකානු කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා රජය විසින් මෙම වෙළෙඳපොළ යොමු කිරි නිෂ්පාදන ව්‍යාපෘතිය දියත් කරනු ඇත.

එහිදී අදහස් දැක්වූ අගමැතිවරයා මෙසේ ද කියා සිටියේය.

“අද ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කරන නව වැඩසටහනක් අපි ක්‍රියාත්මක කරනවා. ඒ ඇමෙරිකා එක්සත් ජනපදයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ආධාර මත ක්‍රියාත්මක වෙන වෙළඳපොළ ඉලක්කගත කිරි නිෂ්පාදන වැඩසටහනයි. මෙය විශේෂ ව්‍යාපෘතියක්. මේ රටේ කුඩා හා මධ්‍යම පරිමාණ කිරි ගොවියන්ට තම නිෂ්පාදන වැඩි කිරීමට මේ හරහා හැකියාව ලැබෙනවා. එක් කිරි ගවයෙක්ගෙන් ලබාගත හැකි වන්නේ කිරි ලීටර් 5ක පමණ ප්‍රමාණයක්. නිෂ්පාදනය වැඩි කරමින් එය ලීටර් 10 දක්වා වැඩි කිරීමට එම ව්‍යාපෘතිය යටතේ කටයුතු කරනවා.

කිරි නිෂ්පාදන ක්ෂේත්‍රයේ මූලිකත්වය ගෙන තිබෙන්නේ ප්‍රමුඛ පෙලේ සමාගම් සහ විශාල කිරි පට්ටි සහිත කිරි ගොවීන්. නමුත් කුඩා හා මධ්‍යම පරිමාණ කිරි ගොවීන්ගේ කිරි නිෂ්පාදනය ලීටර් 4 කටත් වඩා අඩු වන අවස්ථා තිබෙනවා. අපේ පළමු පියවර වන්නේ කුඩා කිරි ගොවීන්ට ලීටර් 8 – 10 අතර කිරි නිෂ්පාදනයක් පළමුවෙන් ලබාගැනීමට අවශ්‍ය කටයුතු සලසා දීමයි. පළමු පියවර සාර්ථක කරගත් විට ඉදිරියට යාම දුෂ්කර වන්නේ නැහැ.

මේ රටේ ග්‍රාමීය ආර්ථිකය නවීකරණය කිරීමට අපි කටයුතු කරනවා. කර්මාන්ත, සේවා, සංචාරක තොරතුරු තාක්ෂණ, ප්‍රවාහන, වරාය, ගුවන් තොටුපල ආදී මේ සියලූ අංශයන්වල නවීකරණය කිරීමක් අපි බලාපොරොත්තු වෙනවා. ඒවගේම රටේ ජනගහනයෙන් විශාල කොටසකට බලපාන ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීමටත් අපි කටයුතු කරනවා. ඒවගේම ගොවීන්ට වැඩි ආදායමක් ලබාදීමටත් අපි කටයුතු කරනවා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් යුත් අපේ ආණ්ඩුව එම වැඩ කටයුතු ඉටු කරනවා.“

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති අතුල් කෙෂාප්, අමෙරිකාවේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ජාත්‍යන්තර වැඩසටහන් විශේෂඥ කෙයිට්ලන් කාකාස්කි, අමෙරිකානු කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහකාර නියෝජ්‍ය පරිපාලක බ්‍රයන් ගසී, වෙළෙඳ යොමු කිරි නිෂ්පාදන ව්‍යාපෘතියේ අධ්‍යක්‍ෂක මැතිව් ක්‍රවුස් සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන හා ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යවරයා නියෝජනය කරමින් පශු සංවර්ධන අධ්‍යක්‍ෂ ආචාර්ය නිරෝෂන් ගමගේ යන මහත්ම මහත්මීහු ඇතුලූ පිරිසක් සහභාගි වී සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *