ගොවීන්ට බීජ ලූණු මිලට ගැනීමට මිලියන 47.3ක්

(කොළඹ, ලංකාපුවත්) – 2018 වර්ෂයේ යල කන්නයේ දී ලොකු ලූණු වගා කරන ගොවීන්ට සහන රැසක් ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවක දී ඔවුන්ට උපදෙස් දෙන ලද්දේ දේශීය අර්තාපල් හා ලූණු වගාකරුවන් ආරක්ෂා කිරීමට අමාත්‍යාංශය මැදිහත් විය යුතු බවයි.

ඒ අනුව මෙවර යල කන්නයේ දී ලූණු වගාකරන ගොවීන්ගෙන් බීජ ලූණු මිල දී ගැනීම සඳහා රු. මි. 47.3 ක් වෙන්කර ඇත. එමෙන්ම ලොකු ලූණු වගා කරන ගොවීන් සඳහා අක්කරයකට බීජ සහනාධාරය වශයෙන් රු. 9,000 ක මුදලකුත්, රු. 40,000 ක මුදලක් අක්කරයක් සඳහා වන රක්ෂණාවරණ වශයෙනුත්, පොහොර සහනාධාරයත් ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර ඇත.

එමෙන්ම ලොකු ලූණු කිලෝ ග්‍රෑම් 01 කට රු. 80 ක් වන සහතික මිලක් ද ලබාදීමට කටයුතු යොදා ඇති අතර බීජ හා අවශ්‍ය උපදෙස් ලබාගැනීම සඳහා දඹුල්ල, කිඹිස්ස, ගලේවෙල, මකුළුගස්වැව, පල්ලෙපොල, වාසලකෝට්ටේ, නාඋල, කෝන්ගහවෙල සහ ලග්ගල කෘෂිකර්ම උපදේශ කාර්යාල වලින් ලබාගත හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *