අයි.කේ. මහානාම සහ පී. දිසානායකගේ කටහඬවල් ගැන පරීක්ෂණයක් කරන්න ඉල්ලීමක්

(කොළඹ, ලංකාපුවත්) – රුපියල් කෝටි 02 ක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත් කර සිටින ජනාධිපති කාර්ය මණ්ඩල හිටපු ප්‍රධානී අයි.එච්.කේ. මහනාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පී. දිසානායක යන සැකකරුවන් තවදුරටත් ලබන 05 දා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

එම පැමිණිල්ල අද (22) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදීය.

අල්ලස් කොමිසමේ නීතිඥවරයා, අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් මෙම සැකකරුවන් දෙදෙනා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ වෝහාරික විද්‍යාගාරය වෙත යොමු කර ඔවුන් ගේ කටහඬවල් පිළිබඳ වාර්තාවක් ලබාගැනීමට අවශ්‍යව ඇති බව දන්වා සිටියේය.

ඒ සඳහා රජයේ රස පරීක්ෂකවරයාගේ කාර්යාලය වෙත නියම කරන දිනයක සැකකරුවන් එහි රැගෙන යන මෙන් නියෝගයක් බන්ධනාගාර අධිකාරිවරයාට නිකුත් කරන මෙන් ද අල්ලස් කොමිසමේ නීතිඥයන් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

විත්තියේ නීතිඥවරු අධිකරණය හමුවේ දන්වා සිටියේ එවැනි පරීක්ෂණයක් සිදුකිරීම සඳහා අපරාධ නඩු විධාන සංග්‍රහය තුළ කිසිදු නීතිමය ප්‍රතිපාදනයක් නොමැති බවයි.

මෙහිදී මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා පාර්ශවකරුවන්ට කියා සිටියේ මෙම ඉල්ලීම පිළිබඳව අධ්‍යනය කර තමා මීළඟ නඩු දිනයේදී තීරණයක් ලබා දෙන බවයි.

අනතුරුව සැකකරුවන් දෙදෙනා ලබන 05 දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කළ මහෙස්ත්‍රාත්වරයා එදිනට පරීක්ෂණවල ප්‍රගතිය වාර්තා කරන මෙන්න නියම කරන ලදි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

7 + 13 =