පෙර සූදානම හේතුවෙන් විපත් අවම කර ගැනීමට හැකි වුණා – ඇමති රංගේ බණ්ඩාර

(කොළඹ, ලංකාපුවත්) – ආපදා අංශවල පෙර සූදානම හේතුවෙන් වැසි සහිත කාලගුණයෙන් සිදු වීමට තිබූ විනාශයන් බොහෝමයක් වලක්වා ගැනීමට හැකි වූ බව වාරිමාර්ග, ජල කළමනාකරණ හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය.

අමාත්‍යංශ නිලධාරීන් ආපදා අංශ මෙන්ම ග‍්‍රාමසේවා නිලධාරීවරයා දක්වා වූ රාජ්‍ය යාන්ත‍්‍රණය මගින් මෙන්ම පොලීසිය, ති‍්‍රවිධ හමුදාව මෙන්ම මාධ්‍ය ආයතනවලින් ලැබුණු දායකත්වය ඉතා අගය කරන බවද ඔහු සදහන් කළේය. මේ තත්ත්වය තුළ ආපදාවලින් සිදුවීමට තිබූ අවදානම් සහිත තත්ත්වයන් වලක්වා ගැනීමට හැකි වූ බව ඔහු පැවසීය.

ඇති වී තිබෙන ආපදා තත්ත්වය හා ඉදිරි කි‍්‍රයාමාර්ග සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම වෙනුවෙන් අද (22) මාදම්පේ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.

ආපදා තත්ත්වය තුළ මරණ 08 ක් මේ වන විට වාර්තා වී ඇතත් ඒවා නොසැලකිල්ල හා ආපදා අංශ විසින් ලබා දෙන උපදෙස් නිසි ලෙස පිළිනොපැදීම හේතුවෙන් සිදුව ඇති මරණ බවට තහවුරු වී ඇතැයිද අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය. මහන්තත්තකම හේතුවෙන් මෙම මරණ තමන් විසින්ම සිදු කර ගෙන ඇති බව පැවසීමට සිදුවන බවත්, එසේ පැවැසීමට සිදුවීම පිළීබඳ කණගාටුවන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. අකුණු සහිත අවස්ථාවන්වලදී එළි මහනේ රැුදී නොසිට ආරක්‍ෂිතව සිිටින්නැයි උපදෙස් ලබා දී ඇති අවස්ථාවක කුඹුරු කෙටීමට යාම හෝ උතුරන වැව්වලට බැස මාළු ඇල්ලීම සිදු ජනතාවගේ වගකීම නොවන බවද ඔහු අවධාරණය කළේය. තම ජීවිතවල වටිනාකමක් මිනිසුන්ට නැතත් මිනිස් ජීවිතව රජයට හා රටට වටිනා බවද ඔහු අවධාරණය කළේය.

ගංවතුර තත්ත්වයන් හමුවේ පීඩාවට පත්ව සිටින ජනතාව මුදා ගැනීමේ මෙහෙයුම් කි‍්‍රයාත්මක වෙද්දී අවදානමක් ඇති වුවහොත් වහලයට නගිනවා යැයි පවසමින් බීඩි උරමින් සිටින පුද්ගලයින්ද පසුගියදා නිරීක්‍ෂණය කිරීමට හැකි වූ බවද ඔහු පැවසීය.

ගංවතුර හා වැව් උතුරන අවස්ථාවේ ඒ අභියසට ගොස් සෙල්ෆි ඡායාරූප ගැනීමට උනන්දුවන සමාජය මාධ්‍ය ආයතන විසින් දුරතකනයට ලබා දෙන අනතුරු ඇගවීමේ කෙටි පණිවුඩය කියවීමට උනන්දු නොවන්නේ මන්දැයි ඔහු සමාජයෙන් ප‍්‍රශ්න කළේය.

වාරිමාර්ග හා ආපදා කළමනාකරණ යන අමාත්‍යංශ ඒකාබද්ධ කිරීම තුළ ගංවතුර වැනි ආපදාවන් අවම කිරීම සඳහා කඩින්ම වැඩපිළීවෙලක් දියත් කිරීමට හැකි වූ බවත් අමාත්‍යවරයා පෙන්වා දුනනේය. ති‍්‍රවිධ හමුදාව සහ පොලිසිය මෙන්ම ආපදා අවස්ථාවේ දායකත්වය ලබා දුන් සියළුම මාධ්‍ය වෙත මෙන්ම ප‍්‍රජා සංවිධානවලට අමාත්‍යවරයා ස්තූතිය පුද කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා,

පුත්තලම් දිස්ති‍්‍රක්කයට පසුගිය දිනයේ මිලිමීටර් 300 ක තරම් තද වැසි ඇති වුණා. ඒ වගේම රත්නපුර, ගාල්ල, මාතර, කෑගල්ල, නුවරඑළිය ඇතුළු දිස්ති‍්‍රක්ක ගණනාවකට තද වැසි ඇති වුණා. සමස්ථ රටේම ඇති වූ ජල ගැලීම් නායයාම් අවදානම් ඇතුළු ආපදා තත්ත්වයන්ගෙන් 40000 (හතලිස් දහසක්) පමණ පීඩාවට පත්ව සිටිනවා. එමෙන්ම මරණ 08 ක් වාර්තා වනවා. කඳවුරු 30 ක 7000 ට ආසන්න පිරිසක් රදවා සිටිනවා. ඒ සියළු දෙනා වෙනුවෙන් ආහාර ලබා දීමටත් හෙට සිට වියළි ආහාර සළාක ලබා දීමටත් පියවර ගෙන තිබෙනවා.

සමස්ථ රටම ආවරණ වන පරිදි ආරක්‍ෂිත වැඩපිළීවෙලක් කි‍්‍රයාත්මකයි. දිස්ති‍්‍රක් මට්ටමින් හදුනාගෙන ඇති අවදානම් කලාප ආවරණ වන පරිදි පොලිසිය හා ති‍්‍රවිධ හමුදාව ඇතුළත්වන පරිදි සහන කණ්ඩායම් යෙදවීමටත් පියවර ගෙන තිබෙනවා. සොබා දහම පාලනය කිරීම අපහසු වුවත් සිදු විය හැකි ආපදා අවම කර ගැනීම අපේ අරමුණයි. ඒ වෙනුවෙන් තමන් ආපදාවට පෙර සුදානම වැනි වැඩසටහන් කි‍්‍රයාවට නැගුවේ.

ආපදා තත්ත්වයෙන් පසුව ඇති විය හැති විපත් කෙරෙහිද අපි අවදානය යොමු කර තිබෙනවා. වසංගත රෝග පාලනය කිරීම, චර්ම රෝග ඇති විමේ අවදානම වැනි තත්ත්වයන් පිළිබඳ මේ වන විටත් අවදානය යොමු කර ඇති අතර, ඒ සඳහා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ මට්ටමින් විශේෂ අධීක්‍ෂණ වැඩපිළීවෙලක් කි‍්‍රයාත්මකයි. මැසි මදුරු උවදුරක් ඇති වීමේ අවදානමක්ද පවතිනවා. මේ තත්ත්වයන් කෙරෙහි සෞඛ්‍ය අංශ පුළුල් අවදානයක් යොමු කර තිබෙනවා. ඇති විය හැකි සියළු විපත් අවම කර ගැනීමට රජයේත් නිලධාරීන්ගේත් දායකත්වයට අමතරව ජනතාවගේ අවදානයත් ඉතා වැදගත් බව සිහපත් කළ යුතුයි.

ආපදා තත්ත්වයක් ඇති වීමට පෙර ඊට මුහුණ දීම සඳහා ජනාධිපතිවරයා හා අගමැතිවරයා පූර්ණ ලෙස මැදිහත් වී දායකත්වය ලබා දුන්නා. නිලධාරීන් සැලසුමකට අනුව කටයුතු කළා. රත්නපුරය වැනි ප‍්‍රදේශවල වෙනදාට වඩා ආපදා අවම කර ගැනීමට හැකි වුනේ මෙම මැදිහත්වීම් තුළයි. පුත්තලමේ ඇති වූ විශාල ජල ගැලීම් හමුවේ විපතට පත් ජනතාව බේරා ගැනිම සඳහා නාවුක හමුදාව ප‍්‍රමුඛ ති‍්‍රවිධ හමුදාව ලබා දුන් දායකත්වය ඉතා විශිෂ්ඨයි.

පුත්තලම දිස්ති‍්‍රක් ලේකම් එන්.එච්.එම් චිත‍්‍රානන්ද මහතා ඇතුළු ආපදා කළමනාකරණ ඒකකයේ නිලධාරීන්ද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරුන් ඇතුළු පිිරිසක් මෙම මාධ්‍ය හමුවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *