විපතට පත් ජනතාවට සහන සැළසීමේ නාවික හමුදා මෙහෙයුම්

(කොළඹ, ලංකාපුවත්) – මේ දින වල බලපා ඇති අධික වැසි සහිත කාළගුණික තත්ත්වයෙන් විපතට පත් ජනතාව ඉන් මුදවා ගැනීම සඳහා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ උපදෙස් හා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ තොරතුරු මත නාවික හමුදාව මේ වන සහන සැළසීමේ කටයුතු සිදු කරමින් සිටි.

ඒ අනුව දකුණු, බස්නාහිර, සබරගමුව සහ වයඔ යන පළාත් සඳහා නාවික හමුදාව සහන සැළසීමේ කටයුතු සිදු කරමින් සිටී. මේ වන විට ඩිංගි යාත්‍රා 38 ක් සහිත නාවික සහන කණ්ඩායම් 38 ක් පසුගිය මැයි 20 වන දින සිට අදාල ස්ථාන වෙත අනුයුක්ත කිරීමට කටයුතු කර ඇති අතර, නාවික හමුදා මැරීන් බලකායට සහ නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ, මුදවා ගැනීමේ සහ සහන සැළසීමේ ඒකකයට (4RU) අනුයුක්ත නාවික පුද්ගලයින් මෙන්ම විශේෂ යාත්‍රා බලඝණයට සහ නාවික හමුදා කිමිදුම් අංශයට අනුයුක්ත නාවිකයින් සිය මෙහෙයුම් මේ වන විට ආරම්භ කො‍ට තිබේ.

එමෙන්ම ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේ ස්ථාපිත කර ඇති ආපදා ප්‍රතිචාර මධ්‍යස්ථානය මගින් අද (මැයි 22) උදෑසන ක්ෂණික අවශ්‍යතාවයකදී භාවිතයට ගතහැකි ලෙස ජංගම මුළුතැන් ‍ගෙවල්, ආහාර පිසීමේ උපකරණ, ආහාර උණුසුම් කිරීමේ උපකරණ, කූඩාරම්, වතුර පොම්ප සහ ජංගම වැසිකිලි ආදි උපකරණ රැගත් ට්‍රක් රථ කිහිපයක් රත්නපුර දිස්ත්‍රික්කය බලා පිටත් කර යැවිමට කටයුතු කර තිබේ.

තවද, දකුණු පළාතේ ගංවතුරින් අවතැන් වූ ජනතාවට සහන සැළසීම සඳහා සුදානමින් නාවික හමුදා සහන කණ්ඩායම් 11 ක් යොදවා ඇති අතර, බස්නාහිර පළාතේ ගංවතුරෙන් අවතැන් වූ ජනතාව එම ප්‍රදේශයෙන් ඉවත් කිරීම හා ඔවුන්ට සහන සැළසීමට සුදානමින් ආපදා සහන කණ්ඩායම් 10 ක්, සබරගමුව පළාතේ ගංවතුරෙන් අවතැන් වූ ජනතාව එම ප්‍රදේශයෙන් ඉවත් කිරීම හා ඔවුන්ට සහන සැළසීමට සුදානමින් ආපදා සහන කණ්ඩායම් 13 ක් සහ වයඹ පළාතේ සහන සැළසීම සඳහා සහන කණ්ඩායම් 04 ක් යොදවා ඇත.

ඒ අනුව, ගාල්ල දිස්ත්‍රික්කයේ තවලම, නාගොඩ, උඩුගම, නෙළුව, වක්වැල්ල, බද්දේගම සහ නියගම යන ප්‍රදේශ, මාතර දිස්ත්‍රික්කයේ අකුරුස්ස සහ කොටපොල යන ප්‍රදේශ, කළුතර දිස්ත්‍රික්කයේ පරගොඩ, වලල්ලාවිට, පාලින්දනුවර, පෑලැන, ඉංගිරිය, දියකඩුව සහ බුලත්සිංහල යන ප්‍රදේශ, රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන, අයගම,ඇලපාත, කිරිල්ල, රත්නපුර සමන් දේවාලය සහ කූරුවිට යන ප්‍රදේශ, පුත්තලම දිස්ත්‍රික්කයේ බත්තුලු ඔය සහ පල්ලම යන ප්‍රදේශ සහ ගම්පහ දිස්ත්‍රික්කයේ බියගම ප්‍රදේශයේ සහන කණ්ඩායම් අනුයුක්ත කර ඇත. එමෙන්ම, රට පුරා ආවරණය වන පරිදි නාවික විධානයන්හි මේ වන විට ගංවතුර තත්වයක් ඇතිවූ විටකදී ඒ සඳහා ක්ෂණිකව මුහුණ දීමට සහන කණ්ඩායම් යෙදවිමට නාවික හමුදාව කටයුතු යොදා ඇත.

තවද, ගාල්ල දිස්ත්‍රික්කයේ වක්වැල්ල, පිටබැද්දර හරහා රත්ගම දක්වා දිවෙන අතුරු මාර්ගයේ ගිංඟහ හරස් කොට ඉදි කර ඇති පාලම හරහා කුණු රොඩු එකතු විම හේතුවෙන් ජලය බැස යාම අවහිරවී ඒ ආශ්‍රිත ප්‍රදේශය ජලයෙන් යට වීමේ අවධානමකට ලක්ව තිබිණි. එබැවින් ජලය බැස යාම කඩිනම් කිරීම සඳහා නාවික හමුදා, විශේෂ යාත්‍රා බලඝණයට අනුයුක්ත සහන සැලසීමේ කණ්ඩායමක් එම ස්ථානය වෙත යෙදවීමට නාවික හමුදාව කටයුතු කොට ඇත. එමෙන්ම, කළුතර දිස්ත්‍රික්කයේ මතුගම, අවිත්තාව යන ප්‍රදේශයේ පාලමක් හරහා කුණු රොඩු එකතුවීම හේතුවෙන් ජලය බැස යාම අවහිරවී තිබූ අතර, ඒ සඳහා සහන කණ්ඩායමක් යොදවා ජලය බැස යාම කඩිනමින් කිරීමට නාවික හමුදාව කටයුතු කරන ලදී.

මේ වන විට නාවික හමුදා මැරීන් බලකායට අනුයුක්ත නාවික පුද්ගලයින් 94 කින් සමන්විත සහන කණ්ඩායමක් නවගමුව ප්‍රදේශය වෙත අනුයුක්ත කර ඇති අතර, නාවික හමුදා සහන කණ්ඩායම් මගින් පුද්ගලයින් 172 දෙනෙකු හට සිය සේවය ලබා දීමට නාවික හමුදා සහන කණ්ඩායම් සමත්ව ඇත. එමෙන්ම, තව දුරටත් අයහපත් කාළගුණික තත්ත්වයද නොතකමින් නාවික හමුදාව විසින් සහන සැළසීමේ කටයුතු සිදු කරමින් පවති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *