පෙර සූදානම නිසා හානිය අවම කර ගැනීමට හැකි වුනා – මාර්ග සංවර්ධන අධිකාරිය

(කොළඹ, ලංකාපුවත්) – පසුගිය වසරේ ගංවතුර හේතුවෙන් මාර්ග පද්ධතියට, පාලම්වලට කඳු කඩා වැටීම්, නායයාම් හේතුවෙන් දරුනු ලෙස හානි සිදු වූවද එහිදී ලබා ගත් අත්දැකීම් මත පෙර සූදානම් වීම නිසා මෙවර හානිකර තත්ත්වයන් අවම කර ගැනීමට හැකි වූ බව මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති නිහාල් සූරියආරච්චි මහතා පවසයි.

මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

විශේෂයෙන් දින දෙකක් තුළ හානි වූ මාර්ග පිළිසකර කර යථා තත්ත්වයට පත් කර ඇතැයි ද හෙතෙම සදහන් කළේය. ගිය වසරය වඩා කදු කඩා වැටීම් අවම තත්ත්වයකට ගෙන ඒමට හැකි වූ බවත් සභාපතිවරයා පෙන්වා දුන්නේය.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ සූරියආරච්චි මහතා,

“මේ දිනවල අපට චෝදනා කරන දෙයක් තිබෙනවා. අධිවේගී මාර්ග පස්ගොඩකර ඉදි කිරීම නිසා ගංවතුර ඇතිවීමට බලපෑමක් ඇති වූ බවට. නමුත් කොට්ටාවේ සිට මාතර දක්වා අධිවේගී මාර්ගයේ අනතුරු නැහැ. මෙම මාර්ගයේ කණු මතින් දිවෙන මාර්ග නැහැ. බෝක්කු අවහිර වීම නිසා ජල ගැලීම අවහිර වුනත් කඩිනමින් ඒවා සුද්ධ කරනවා. ඒනිසා එක අධිවේගී මාර්ගයක්වත් ජලයෙන් යට වුනේ නැහැ.“

වර්තමානයේ මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතාගේ උපදෙස් මත සිදුවන හානි වෙනුවෙන් පළාතකට රුපියල් මිලියන 05 බැගින් පළාත් 09යටම මුදල් වෙන් කිරීමට අමාත්‍යංශයත්, මාර්ග සංවර්ධන අධිකාරියත් කටයුතු කර තිබෙන බවද සභාපතිවරයා විසින් අනාවරණය කළේය.

මාර්ග සම්බන්ධයෙන් වන ගැටළුවකදී ක්ෂණික ඇමතුම් ලබා දීමට 1968 දුරකථන අංකය ද, අධිවේගී මාර්ග පිළිබඳ දැනුම් දීමට 1969 දුරකථන අංකය ද විවෘතව පවතී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2 × 5 =