චෙන්නායි සුපර්කිංග්ස් තෙවැනි වරටත් IPL. කිරුළ දිනයි

(කොළඹ, ලංකාපුවත්) –මහේන්ද්‍ර සිං දෝණිගේ නායකත්වයෙන් යුත් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සහ කේන් විලියම්සන්ගේ නායකත්වයෙන් යුත් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම අතර පැවති ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ අවසන් මහා තරඟය ජයග්‍රහණය කිරීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත් විය.

ඒ අනුව ෂේන් වොට්සන්ගේ විශිෂ්ඨ ශතකය හමුවේ තෙවැනි වරටත් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ශූරතාව තමන් සතුකර ගැනීමට මහේන්ද්‍ර සිං දෝනිගේ නායකත්වයෙන් යුත් චෙන්නායි සුපර්කිංග්ස් (CSK) කණ්ඩායම සමත් විය.

මුම්බායිහි වන්කඬේ ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් මහ තරගයේදී සන්රයිසස් හයිද්‍රාබාද් (SH) කණ්ඩායමට එරෙහිව කඩුලු 8 ක ජයක් අත්කර ගනිමින් චෙන්නායි කණ්ඩායම එම ශූරතාවට හිමිකම් කීවේය.

ජයග්‍රහණය සඳහා ලකුණු 179 ක ඉලක්කයක් හඹාගිය චෙන්නායි සුපර්කිංග්ස් ක්‍රීඩකයෝ පන්දු 9 ක් ඉතිරිව තිබියදී කඩුලු 2 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියහ. පන්දු 57 කදී හයේ පහර 8 ක් සහ හතරේ පහර 11 ක් සමග නොදැවී ලකුණු 117 ක් රැස්කළ ෂේන් වොට්සන් චෙන්නායි කණ්ඩායම ලැබූ ජයග්‍රහණයේ නියමුවා බවට පත් විය. වොට්සන්ගේ එම ශතකය මෙවර අයි.පී.එල්. තරගාවලියේදී ඔහු ලබාගත් දෙවැනි ශතකය මෙන්ම අයි.පී.එල්. ඉතිහාසයේ ඔහු ලබාගත් සිව්වැනි ශතකයද විය.
සුරේෂ් රයිනා (32) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 57 කදී ලකුණු 117 ක සම්බන්ධතාවක් ගොඩනැගූ වොට්සන්, ඉන් නොනැවතී අම්බටි රයිඩු (නොදැවී 16) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 30 කදී ලකුණු 48 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් චෙන්නායි කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය. පන්දු 24 කට මුහුණදුන් රයිනා හයේ පහරකින් සහ හතරේ පහර 3 කින් සිය ඉනිම සැරසූ අතර පන්දු 19 කදී වාර්තා වූ රයිඩුගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහරක් ඇතුළත් විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 178 ක් ලබාගත් අතර හයිද්‍රාබාද් ඉනිමේ අවසන් ඕවර කිහිපයේදී වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ යූසෆ් පතාන් පන්දු 25 කදී නොදැවී ලකුණු 45 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමගිනි.

නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කේන් විලියම්සන් පන්දු 36 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් සමග ලකුණු 47 ක් රැස්කරමින් හයිද්‍රාබාද් කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන් නමුත් අර්ධ ශතකය පෙනී පෙනී සිටියදී කරන් ශර්මාගේ පන්දුවක් හමුවේ මහේන්ද්‍ර සිං දෝනිගේ ස්ටම්ප් කිරීමකට හසුවෙමින් දැවී ගියේය.

ශිකර් ධවාන් හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 26 ක්ද, සකීබ් අල් හසන් හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 23 ක්ද, කාර්ලෝස් බ්‍රැත්වේට් හයේ පහර 3 ක් සමග ලකුණු 21 ක්ද රැස්කරමින් හයිද්‍රාබාද් කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.

සන්රයිසස් හයිද්‍රාබාද් පිල – ඕවර 20 කදී කඩුලු 6 කට 178
(ශිකර් ධවාන් 26, කේන් විලියම්සන් 47, සකීබ් අල් හසන් 23, යූසෆ් පතන් නොදැවී 45, කාර්ලෝස් බ්‍රැත්වේට් 21)

චෙන්නායි සුපර්කිංග්ස් පිල – ඕවර 18.3 කදී කඩුලු 2 කට 181
(ෂේන් වොට්සන් නොදැවී 117, සුරේෂ් රයිනා 32, අම්බටි රයිඩු නොදැවී 16)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *