නායායෑම හේතුවෙන් නිවාස අහිමිවූ වතු ජනතාවට කඩිනම් නිවාස

(කොළඹ, ලංකාපුවත්) – පවතින අයපත් කාළගුණය හේතුවෙන් සිදුවූ නායයෑම් හා අපදා තත්වයන් නිසා අවතැන් වූ වතුකරයේ ජනතාවට කඩිනම් නිවාස ඉදිකරදෙන බව කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි තිගාම්බරම් මහතා පවසයි.

ඊයේ (27) නුවරඑළිය දිස්ත්‍රික්කය පුරා අපදාවට පත් ප්‍රදේශ රැසක නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

නොර්වුඩ්, මස්කෙළිය, අප්කොට්, තලවාකැලේ, ලිදුල, නානුඔය යන ප්‍රදේශ රැසක අපදාවට පත් ජනතාව මුණුගැසීමට ගිය අමාත්‍යවරයා මේවන විට කඳවුරු මධ්‍යස්ථානවල සිටින අවතැන් ජනතාවගේ මූලික පහසුකම් කඩිනමින් ලබාදෙන ලෙසද අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

මීට අමතරව මාතලේ, කළුතර, රත්නපුර, කෑගල්ල, මහනුවර, ගාල්ල යන දිස්ත්‍රික්වල නායයෑම හේතුවෙන් නිවාස අහිමි වූ වැවිලි ප්‍රජාවටද කඩිනමින් නිවාස ඉදිකරදෙන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

මෙහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“මේ වෙනකොට නායායෑමේ අවධානමට පත්වෙලා තියෙන වතුකරයේ ගෙවල් 5000ක් විතර හඳුනාගෙන තියෙනවා. මගේ අමාත්‍යංශයෙන් හදන ගෙවල් වලින් මුල් තැන ඒ නිවාස වලට ලබා දෙන්න තීරණය කළා. මේ වෙද්දි නායායෑම හේතුවෙන් අවතැන් වූ අයට හැකි ඉක්මණින් නිවාස ලබා දෙන්න අපි කටයුතු කරනවා. ලබන සති දෙක ඇතුළත ඒ සඳහා මුල් ගල් තියන්න පටන් ගන්නවා තව මාස 06 කින් මේ ගෙවල් ටික ඒ අයට බාරදෙනවා.” යැයි පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *