ICC පරීක්ෂණයවලට අල් ජසීරා වැඩසටහනේ සාමාජිකයන්ගේ සහාය

(කොළඹ, ලංකාපුවත්) – මුදලට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ තණතීරුව වෙනස් කිරීම සම්බන්ධයෙන් අල් ජසීරා රූපවාහිනී නාලිකාව විසින් වාර්තා කළ වැඩ සටහනේ සමාජිකයන්ගේ පූර්ණ සහයෝගය ලබා ගනිමින් මේ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ දූෂණ මර්ධන ඒකකය තීරණය කර තිබේ.

මේ අතර අල් ජසීරා “Pitch Fixing” වාර්තාව සම්බන්ධයෙන් වහා ක්‍රියාත්මක වන ලෙස ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දන්වා ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දන්වා එහි ලේකම් වෙත අමාත්‍යවරයා යවන ලද ලිපියේ සිංහල අනුවාදය පහත දැක්වේ.

2018 මැයි 27 වන දා

ගරු ලේකම් තුමා,

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය,

35, මේට්ලන්ඩ් පෙදෙස,

කොළඹ 07.

හිතවත් මහත්මයාණනි,

“Pitch Fixing” සිද්ධිය අල් ජසීරා වාර්තාව සම්බන්ධවයි.

අල් ජසීරා නාලිකාවේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ “Pitch Fixing” සිද්ධිය සම්බන්ධයෙන් පලවූ වාර්තාව ඇසූ විට මා හට බලවත් කම්පනයක් හා ශෝකයක් ඇති විය.

මම දන්නා පරිදි ශ්‍රී ලංකාවේ ඉතා ඉහල ස්ථානයක් ගන්නා ක්‍රීඩාව ක්‍රිකට් ක්‍රීඩාවයි. එය අප රටේ ජනතාවගේ සිත් දිනාගත් ක්‍රීඩාවයි. එම නිසා ක්‍රිකට් ක්‍රීඩාව විශේෂයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව යම්කිසි හෝ සැකයකින් තොරව පැවැත්විය යුතුය.

එමනිසා මා පහත ක්‍රියාමාර්ග ගැනීමට දන්වා සිටිමි.

A. යම් පුද්ගලයෙක් හෝ යම් කණ්ඩායමක් මෙම ක්‍රියාවට සම්බන්ධ වී ඇත්නම් ඔහුට එරෙහිව වහාම අපරාධ නීතිය යටතේ පියවර ගැනීම සඳහා අවශ්‍ය පැමිණිලි කල යුතුය.

B. වහාම මෙම “Pitch Fixing” සිද්ධිය සම්බන්ධව ස්වාධීන පරීක්ෂණයක් පවත්වා එම සිද්ධිය සම්බන්ධව පලවූ වාර්තාවේ සත්‍යතාවය තහවුරු කර ගැනීමට පියවර ගැනීමට කටයුතු කල යුතුය.

C. ඕනෑම සේවකයෙක් හෝ ඒජන්තවරයෙක් හෝ මේ සම්බන්ධව වරද කරුවෙක් ලෙස හඳුනාගන්නේ නම් ඔහු හට දැඩි දඬුවම් පැමිණවීමට ක්‍රියා කල යුතුය.

ස්තුතියි.

විශ්වාසී

ෆයිසර් මුස්තෆා,

පළාත් සභා, පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *