පවුලේ සමාජිකයින් කපා කොටා මාස 06ක බිළිදා ඝාතනය කළ පුද්ගලයෙකු සියදිවි නසා ගනියි

(කොළඹ, ලංකාපුවත්) – බිංගිරිය පොලිස් වසමේ ඉහළ කඩිගමුව ප්‍රදේශයේ නිවසක ස්වාමි පුරුෂයා විසින් තම බිරිඳට, බිරිඳගේ මවට, පියාට හා ඔහුගේ කුඩා පිරිමි දරුවාට ආයුධයකින් කපා කොටා බරපතළ තුවාල සිදු කර ඔහු ද නිවස ඉදිරිපිට සියදිවි හානි කර ගෙන ඇත.

අද(30) දහවල් 1.35 ට පමණ මෙම සිදුවීම වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේය.

බරපතළ තුවාල ලැබු පුද්ගලයින් කුලියාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මාස 6 ක් වු කුඩා පිරිමි දරුවා මිය ගොස් තිබේ.

වයස අවුරුදු 24 ක් වු බිරිඳ, වයස අවුරුදු 42 ක් වු මව හා වයස අවුරුදු 62 ක් වු පියා බරපතළ තත්ත්වයෙන් කුලියාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබයි.

මෙම අපරාධය සිදුකළ පුද්ගලයා මාස 3ක පමණ කාලයක් නිවසින් බැහැරව සිට නැවත නිවසට පැමිණ මෙම අපරාධය සිදු කර ඔහුද අපරාධයෙන් පසුව එම ස්ථානයේ දීම සියදිවි හානි කර ගෙන තිබේ.

මරණකරුගේ මුහුණ ප්‍රදේශය හා හිස ප්‍රදේශය හඳුනාගත නොහැකි වන අයුරින් දැඩි ලෙස හානි වී ඇත. මොහු හක්ක පටස් වැනි පුපුරණ ද්‍රව්‍යයක් උපයෝගී කර ගෙන මෙසේ සියදිවි නසා ගැනීමට ඇති බවට පොලීසිය සැකකරයි.

මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු කර ගෙන නොමැති අතර‍, බිංගිරිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *