ගොවීන්ගෙන් සීමාවකින් තොරව වී මිලදී ගැනීමට රජය සූදානම්

(කොළඹ, ලංකාපුවත්) – ගොවීන්ගෙන් සීමාවකින් තොරව වී මිලදී ගැනීමට කටයුතු කරන්නැයි තමන් වී අලෙවි මණ්ඩලයේ නිලධාරීන්ට උපදෙස් ලබාදුන් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

අම්බලන්තොට දෙහිගහලන්ද වී අලෙවි මණ්ඩලයට අයත් ගබඩාව ඊයේ (29) පස්වරුවේ අමාත්‍යවරයා විසින් නිරීක්ෂණයට ලක් කළේය.

පසුගිය මාස් කන්නයේ නෙලා ගන්නා ලද වී අස්වනු ද මේ වන විට වෙළඳපොළට ලැබෙමින් පවතින අතර, ඇතැම් ව්‍යපාරිකයින් ගොවීන්ගේ වී අස්වනු අඩු මිලට මිලදී ගන්නා බව ගොවිජනතාව අමාත්‍යාංශයට පැමිණිලි කර ඇතැයි ද අමාත්‍යවරයා එහිදී පැවසීය.

ගොවිජනතාව ගසාකෑම වැළැක්වීම සඳහා වී අලෙවි මණ්ඩලය විසින් පියවර ගන්නා අතර, කිසිදු සීමාවකින් තොරව ගොවීන්ගේ වී අස්වැන්න මිල දී ගැනීම සඳහා රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇත. ඒ අනුව රජයේ සහතික මිල යටතේ, ගොවීන්ගේ වී අස්වනු මිලදී ගැනීමට පියවර ගන්නා ලෙස වී අලෙවි මණ්ඩලයේ නව සභාපතිවරයා වන නීතීඥ උපාලි මොහොට්ටි මහතා ඇතුළු කාර්යමණ්ඩලයට උපදෙස් ලබාදුන් බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.

වී අලෙවි මණ්ඩලය මඟින් මිලදී ගන්නා වීවල තෙතමනය පරීක්ෂාවට ලක්කරන අතර, එහිදී බොහෝ ගොවීන්ට අපහසුතාවලට මුහුණපෑමට සිදු වී ඇත. මෙම කාරණය සැලකිල්ලට ගනිමින් වී ගබඩා ආශ්‍රිතව වී වේලීමේ යන්ත්‍ර පද්ධතියක් සවිකිරීමට රජයේ අවධානය යොමු වී තිබෙනවා. ඒ අනුව වීවල වේලුම් මට්ටම 14% ක ප්‍රතිශතයෙන් පවත්වාගෙන යාම සඳහා මෙම යන්ත්‍ර පද්ධතිය සවිකිරීම තුළින් ගොවිජනතාවට කිසිදු පීඩාවකින් තොරව එම වී අස්වැන්න වී අලෙවි මණ්ඩලයට අලෙවි කිරීමට හැකිවන අතර, ඉහළ මිලක් ගොවීනට ලබාගත හැකි වේ.

වී අලෙවි මණ්ඩලය මඟින් වී මිලදී ගනු ලබන්නේ විශේෂයෙන්ම ගොවීන්ට ඔවුන්ගේ වී අස්වැන්න සඳහා ඉහළ මිලක් ලබාදීමේ අරමුණෙන්ම බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *