මැලේසියා රැකියා පෙන්වා මුදල් වංචාකළ කාන්තාවක් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – වලංගු බලපත්‍රයක් නොමැතිව විදේශ රැකියා ලබාදෙන පවසමින් මුදල් වංචා කළ කාන්තාවක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ෂණ ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ ඉංගිරිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි. මැලේසියාවේ රැකියාවක් අපේක්ෂාවෙන් මෙම කාන්තාවට මුදල් ලබාදුන් පුද්ගලයෙක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශණ ඒකකයට පැමිණිලි කර තිබූ අතර එහිදී කළ විමර්ශණ අනුව අදාල කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත.

මැලේසියාවේ රැකියා ලබාදෙන බව පවසමින් මෙම කාන්තාව එක් පුද්ගලයෙක්ගෙන් රුපියල් හත්ලක්ෂ පනස් දහසක මුදලක් ලබාගෙන තිබෙන බව විමර්ශණවලදී අනාවරණය වී තිබේ. විදේශ රැකියා ලබාදීම සදහා වන වලංගු බලපත්‍රයක් නොමැතිව මීට පෙරද මෙම කාන්තාව රැකියා සදහා පුද්ගලයින් විදේශ ගත කර තිබෙන බවද අනාවරණ වී ඇත.

අත්අඩංගුවට පත් කාන්තාව හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙන අතර මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

විදේශ රැකියා සදහා පිටත්ව යාමේදී බලපත්‍රලාභී විදේශ රැකියා ඒජන්සියක් මගින් විදේශ ගත වන ලෙසත් සියලුම විගමණික ශ්‍රමිකයින් විදේශගතවීමට පෙර ලියාපදිංචි විය යුතු බවත් විදේශ සේවා නියුක්ති කාර්යාංශය සදහන් කරයි.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නීති ක්‍රියාත්මක කිරීමේ නිලධාරී පොලිස් පරීක්ෂක එච්.එම්. කුමාරසිංහ, පොලිස් සැරයන් එස්.ජේ. පී. රවින්ද්‍ර, මාණ්ඩලික සහකාර සුනේත්‍රා විජේතුංග යන නිලධාරීන් වැටලීමට සම්බන්ධ විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *