විදේශ මුදල් වැඩි වී ඇති බව මුදල් ඇමති කියයි

(කොළඹ, ලංකාපුවත්) – සෘජු විදේශ ආයෝජන ඉහළ ගොස් රට තුළට එන විදේශ මුදල් ප්‍රමාණය ද වැඩි වී ඇති බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා සහ ගම්පෙරළිය යන ආර්ථික වැඩසටහන් පිළිබඳ කොළඹදී පැවති ව්‍යාපාරික සමුළුවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

පෞද්ගලික ආයෝජන වර්ධනය එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහනේ මූලික ඉලක්කය වේ. ග්‍රාමීය ආර්ථිකයේ පරිවර්තනයක් සිදු කිරීම ගම්පෙරළිය ආර්ථික වැඩසටහන යටතේ සිදු කෙරේ. රජයේ ග්‍රාමීය සංවර්ධන වැඩපිළිවෙළට අනුව ඉදිරියේදී ග්‍රාමීය වැව් විසිදෙදහසක් ප්‍රතිසංස්කරණය කිරීමට නියමිතය.

හරිත උද්‍යාන වැඩපිළිවෙළ ජනතාවගේ මානසික සහ ශාරීරික සෞඛ්‍ය ඉහළ නැංවීම සඳහා ක්‍රියාත්මක කෙරෙන්නකි. ග්‍රාමීය මාර්ග, ග්‍රාමීය වෙළෙඳපොල මෙන්ම පොදු කටයුතු සංවර්ධනය වෙනුවෙන් රජය රුපියල් බිලියන අසූවක මුදල් ආයෝජනය කරනු ඇත. එමගින් ග්‍රාමීය ප්‍රදේශවලට අති විශාල මුදලක් සම්ප්‍රේෂණය වන බවයි මුදල් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. රට තුළ තිරසර සංවර්ධනයක් අත්පත්කර ගැනීමට එමගින් ලැබෙන්නේ ඉමහත් දායකත්වයකි. ඉදිරි මාස 24 තුළ රජයේ ප්‍රධානතම ග්‍රාමීය ආර්ථික වැඩපිළිවෙළ බවට ගම්පෙරළිය පත්වන බවද මංගල සමරවීර මහතා පෙන්වා දෙන ලදි.

පළමු ගම්පෙරළිය ප්‍රදර්ශනය අගෝස්තු මස 16 වන දින මොණරාගලදී පැවැත්වීමට නියමිතය. ඉන් පසු අනුරාධපුරය සහ යාපනය ප්‍රදේශවල ද එම ප්‍රදර්ශනය පැවැත්වෙනු ඇත.

රජයේ රැකියා මත රැඳී සිටීමේ මානසිකත්වය වෙනස් කිරීමට මෙම ප්‍රදර්ශනවලින් අපේක්ෂා කෙරෙන බවද ඒ මහතා සදහන් කළේය. ව්‍යාපාරික සහ නවෝත්පාදන කටයුතු වර්ධනය කර ගැනීමට ණය වැඩපිළිවෙළක් තරුණ තරුණියන් වෙනුවෙන් ආරම්භ කෙරෙනු ඇත. එමගින් ඔවුන්ගේ ව්‍යාපාරික සංකල්ප වෙළෙඳපොල සමඟ බද්ධ කිරීම රජයේ අරමුණ වේ.

රජය ගෙනයන ආර්ථික වැඩපිළිවෙලේ ප්‍රතිඵලයක් ලෙස රටට ලැබෙන සෘජු විදේශ ආයෝජන ප්‍රමාණය වාර්තාගත ලෙස පසුගිය වසරේදී ඉහළ ගොස් ඇත. මේ වන විට ඇමෙරිකා ඩොලර් බිලියන එකයි දශම නවයක සෘජු විදේශ ආයෝජන අත්කර ගැනීමට රජය සමත්ව සිටින බව ද මුදල් අමාත්‍යවරයා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

four × 1 =