ඇලෝසියස්ගෙන් මුදල්ගත් මන්ත්‍රීවරුන් හෙළි කරන්න – අමාත්‍ය තිගාම්බරම් ජනපතිගෙන් සහ අගමැතිගෙන් ඉල්ලයි

(කොළඹ, ලංකාපුවත්) – දමිළ ප්‍රගතිශීලී සන්ධානය නියෝජනය කරන කිසිදු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ලබාගෙන නොමැතිබව අමාත්‍ය පලනි තිගාම්බරම් මහතා පවසයි

ඉන්දීය රජයේ ආධාර ඇතිව කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශයේ සහයෝගයෙන් නුවරඑළිය වටගොඩ, මැදකුඹුර වතුයායේ ඉදිකිරීමට නියමිත නිවාස 250 ක් සඳහා මුලගල් තැබීමේ අවස්ථාවට ඊයේ (04) එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

ආණ්ඩුවෙන් ඉවත් වූ අමාත්‍යවරුන් 16 දෙනා අමාත්‍යධුර නොමැතිවීම නිසා විවිද ප්‍රකාශ සිදුකරද ආණ්ඩුව 2020 වන තෙක් පවතින බව අමාත්‍ය පලනි තිගාම්බරම් මහතා කියා සිටියා.

දමිළ ප්‍රගතිශීලි සන්ධානය නියෝජනය කරන තමන් මෙන්ම අමාත්‍ය මනෝ ගනේෂන් මහතා, රාජ්‍ය අමාත්‍ය වී රාධ ක්‍රිෂ්ණන් මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම් තිලකරාජ් මහතා, අරවින්ද් කුමාර් මහතා සහ වේලුකුමාර් මහතා කිසිවිටෙකත් අර්ජුන් ඇලෝසියස් සමඟ සම්බන්ධතා පවත්වා නොමැති මෙන්ම මුදල් ද ලබාගෙන නොමැති බව මෙහිදි පලනි තිගාම්බරම් අමාත්‍යවරයා සඳහන් කළේය

අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ලබාගත් පිරිස් අද සුදනන් ලෙස කථාකිරීම කණගාටුවට කරුණක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා ජනාධිපතිවරයාගේන් සහ අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේ එසේ මුදල් ලබාගෙන ඇති මන්ත්‍රීවරුන්ගේ නම් කඩිනමින් හෙළි කරන ලෙසයි.

ඉන්දීය ආධාර සහ කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශය එක්ව වැවිලි ප්‍රජාව වෙනුවෙන් නිවාස 14000 ක් ඉදිකිරීමට නියමිතයි. නුවරඑළිය, මහනුවර, මාතලේ, බදුල්ල, මොණරාගල යන දිස්ත්‍රික්කවල මෙම නිවාස ඉදිකිරීම මේ වන විටත් ආරම්භ කර තිබේ.

මෙම අවස්ථාවට මෙරට වැඩබලන ඉන්දියානු මහ කොමසාරිස් අරින්දම් භක්ෂිත් මහතාද එක්ව සිටි අතර වැවිලි ප්‍රජාව වෙනුවෙන් අමාත්‍ය පලනි තිගාම්බරම් මහතා සිදුකරන සංවර්ධන කටයුතු ඔහු මෙහිදී ඇගයීමට ලක් කරන ලදි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

two × 5 =