ආයුර්වේදයත් පොල්තෙල් නිෂ්පාදනයට

(කොළඹ, ලංකාපුවත්) – ආයුර්වේද දෙපාර්තමේන්තුවට ඖෂධ නිෂ්පාදනය කිරිම සදහා අවශ්‍ය අමුද්‍රව්‍ය ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවෙන් ලබාගැනීම සදහා වැඩපිළිවෙළක් සකස් කරන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා උපදෙස් ලබා දී ඇත.

දැනට ආයුර්වේද ඖෂධ සංස්ථාව ශ්‍රී ලංකාවේ වගා කරන ආයුර්වේද ඖෂධ මිල දී ගැනීමේ වැඩපිළිවෙලක් දියත් කර තිබේ. ආනුරාධපුර දිස්ත්‍රික්කයේ ඖෂධ එකතු කිරීමේ මධ්‍යස්ථානයක් ද ස්ථාපිත කර ඇත. එම අමුද්‍රව්‍ය ලබාගෙන ආයුර්වේද දෙපාර්තමේන්තුවට අවශ්‍ය ඖෂධ නිෂ්පාදනය කිරීමට හැකියාවක් ඇති බව සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.

තව ද විවිධ රටවලින් තීරුබදු සහන යටතේ ආනයනය කරන ආයුර්වේද ඖෂධ අමුද්‍රව්‍ය වෙළෙදපොලට නිකුත් කිරීමට ප්‍රථම ප්‍රමිතිය පරීක්ෂා කළ යුතු බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි. පෞද්ගලික ආනයන කරුවන් ආනයනය කරන ඇතැම් ඖෂධ නිසි ප්‍රමිතියකින් නොමැතිව වෙළෙද පොලට නිකුත් කරන බව ආයුර්වේද වෛද්‍යවරුන් පෙන්වාදීමෙන් පසු සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම තීරණය ගනු ලැබීය. මෙහිදී නිදි ප්‍රමිතිය පරීක්ෂා කර අමුද්‍රව්‍ය වෙළෙදපොලට නිකුත් කිරීම සදහා අවශ්‍ය නීති රීති සකස් කරන ලෙස ද සෞඛ්‍ය අමාත්‍යවරයා දැනුම් දුන්නේ නාරාහේන්පිට රුධිර පාරවිලය මධ්‍යස්ථානයේ පසුගිය දා පැවැති දේශීය වෛද්‍ය පළාත් සෞඛ්‍ය අමාත්‍ය සමුලුවේ දීය.

මෙහිදී ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවට අවශ්‍ය පොල්තෙල් මිල දී ගැනීම සදහා වාර්ෂිකව රුපියල් මිලියන 30 ක් පමණ වැය වන බැවින් පොල්තෙල් නිෂ්පාදනය කිරීමේ වැඩපිළීවෙළක් සකස් කරන බව ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ සභාපති ලාල් සමරසිංහ මහතා ප්‍රකාශ කළේය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *