ගල්කිස්ස විද්‍යා විද්‍යාලයේ 40 වන සංවත්සර උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

(කොළඹ, ලංකාපුවත්) –ගල්කිස්ස විද්‍යා විද්‍යාලයට වසර 40ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් සංවිධානය කළ විශේෂ සැමරුම් උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (11) පෙරවරුවේ පැවැත්විණි.

විද්‍යාලය වෙත ගිය ජනාධිපතිතුමා එම සිසු දරුවන් විසින් මහත් සෙනෙහසින් යුතුව පිළිගෙන කැදවාගෙන යනු ලැබීය.

“ළගම පාසල – හොදම පාසල” ව්‍යාපෘතිය යටතේ ඉදිකළ ප්‍රාථමික ක්‍රියාකාරකම් ගොඩනැගිල්ල සහ සුහුරු පන්ති කාමර ගොඩනැගිල්ල විවෘත කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි.

අනතුරුව පැවති උත්සව සභාවේ දී ,විද්‍යාභිමානි, සමරු කලාපය ජනාධිපතිතුමා වෙත පිළිගැන්විණි.

විද්‍යාලයේ විශිෂ්ටතා දැක්වූවන් වෙත සම්මාන සහ සහතික පත් ප්‍රදානය කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදුවිය.

විද්‍යාලයේ අබාධිත දැරියක් වෙනුවෙන් රෝද පුටුවක් පරිත්‍යාග කිරීම ද සිදු විය.

විද්‍යාලය වෙත ජනාධිපතිතුමාගේ සම්ප්‍රාප්තිය සනිටුහන් කරමින් විද්‍යාල පරිශ්‍රයේ නා පැළයක් ද රෝපණය කෙරිණි.

70 දශකයේ මුල් භාගයේ ගල්කිස්ස ප්‍රදේශයේ මහජන මන්තී්‍රවරිය වූ විවියන් ගුණවර්ධන මැතිණියගේ ඉල්ලීම මත, හිටපු අධ්‍යාපන අමාත්‍ය බදියුදීන් මහමුද් මහතාගේ සහ පීටර් කෙනමන් මහතාගේ අනුග්‍රහයෙන් ගල්කිස්ස විද්‍යා විද්‍යාලය ඇරඹිණි.

,විද්‍යාව අනාගතය වේ, යන්න මෙම විද්‍යාලයේ තේමා පාඨය වන අතර, සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන්ම අධ්‍යාපන කටයුතු සිදු කරන මෙම පාසලේ දැනට ශිෂ්‍ය සංඛ්‍යාව දෙදහසකි.

රාජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රෙරු, නියෝජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න, බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍ය රංජිත් සෝමවංශ යන මහත්වරුන් ඇතුථ පළාතේ මහජන නියෝජිතයින් පිරිසක් ද, විදුහල්පති සුසන්ත මෙන්ඩිස් මහතා ඇතුථ ආචාර්ය මණ්ඩලය, දෙමාපියන්, ආදි සිසුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *