ශ්‍රී ලංකා කණිෂ්ඨ මලල ක්‍රීඩා කණ්ඩායම ජපානයේදී ආසියාවේ 5 වැනි තැනට

(කොළඹ, ලංකාපුවත්) – ජපානයේ ගිෆූ හිදී ඊයේ (10) අවසන් වූ 18 වැනි ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා උළෙලේ රන් පදක්කම් 3ක්, රිදී 4ක් හා ලෝකඩ 2ක් දිනා ගත් ශ්‍රී ලංකා කනිෂ්ඨ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමස්ථ තරඟාවලියේ 5 වැනි ස්ථානය දිනා ගනිමින් සාර්ථක තරඟාවලියක නිමාව සටහන් කළහ.

ශ්‍රීලංකා කනිෂ්ඨ කණ්ඩායමේ නායක ලෙස මෙම තරඟාවලියට එක්වූ අකුරම්බොඩ වීර කැප්පෙටිපොල විදුහලේ අරුණ දර්ශන ජපාන තරඟ සංචාරයේ සුවිශේෂී දස්කම් දැක්වූ ක්‍රීඩකයා බවට පත්වෙමින් මීටර් 400 ඉසව්ව තත්. 45.79 කින් නිම කර නව ආසියානු කනිෂ්ඨ වාර්තාවක් පිටුවමින් සිය පළමු රන් පදක්කම දිනාගත් අතර මීටර් 400 x 4 සහය දිවීමේ තරඟය පසිඳු කොඩිකාර, රවිශ්ක ඉන්ද්‍රජිත් හා පබසර නිකූ හා එක්ව මි.3.08.70 ක කාලයකින් අවසන් කර සිය දෙවන රන් පදක්කමද ජයග්‍රහණය කළේය.

වලල මධ්‍ය මහා විද්‍යාලයේ පාරමී වසන්ති මාරිස්ටෙලා මීටර් 3000 බධක දිවීමේ තරඟය මි.10.21.54කින් තරඟය නිමා කර නව ශ්‍රීලංකා කනිෂ්ඨ වාර්තාවක්ද සමගින් ශ්‍රීලංකාවට තෙවැනි රන් පදක්කම දිනා දුන් අතර මහනුවර රත්නාවලී බාලිකා විදුහලේ අමාෂා ද සිල්වා මීටර් 100 ( තත්.11.71) හා මීටර් 200 (24.47) තරඟවලදී සිය හොඳම කාලයන් වාර්තා කරමි රිදී පදක්කම් දිනා ගත්තාය.

මීට අමතරව පසිඳු කොඩිකාර මීටර් 400 තරඟය තත් 46.96කින් කින් නිම කර රිදී පදක්කමක්ද, දිල්ෂි කුමාරසිංහ මීටර් 400 කන්තා තරඟයෙන් නව ශ්‍රීලංකා කනිෂ්ඨ වාර්තාවක් සහිතව ඇගේ හොඳම කාලය වාර්තා කර තවත් රිදී පදක්කමක්ද ශ්‍රීලංකාවට දිනා දුන්නාය.

ශ්‍රීලංකාව ලබාගත් සෙසු ලෝකඩ පදක්කම් දෙකට හිමිකම් කීවේ මීටර් 800 තරඟය මි.2.04.53 කින් නිම කළ දිල්ෂි කුමාරසිංහ හා මීටර් 400×4 කාන්තා තරඟයේ තෙවැනි ස්ථානය දිනාගත් ඇය ඇතුළු රොමේෂි අත්තිඩිය , අමාෂා ද සිල්වා හා සචිනි දිව්‍යාංජලී යන ක්‍රීඩිකාවන්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *