ගැටළු විසඳා ගැනීමට 18වනදා ආකේඩ් පරිශ‍්‍රයට එන්න – ඇමති චම්පික

(කොළඹ, ලංකාපුවත්) – ගොඩනැගිලි සැලසුම් අනුමත කිරීම්, අනුබෙදීම්, ඉඩම් සහ අනෙකුත් අනවසර ඉදිකිරීම් පිළිබඳ ගැටළු විසඳා ගැනීමට 18 වනදා ආකේඩ් පරිශ‍්‍රයට එන ලෙස මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය චම්පික රණවක මහතා ආරාධනා කර සිටි.

ඇමතිවරයා මෙම අදහස් පළ කරනු ලැබුවේ නාගරික සංවර්ධන අධිකාරියට 40 වසරක් සපිරීම නිමිත්තෙන් සංවිධානය කරනු ලබන ජංගම සේවය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම සඳහා ඊයේ (11) අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා,

‘නාගරික සංවර්ධන අධිකාරියට ලබන ඔක්තෝම්බර් 01 වෙනිදාට වසර 40 ක් සපිරෙනවා. 1978 ඔක්තොම්බර් 01 වෙනිදා විශේෂ පනතකින් පිහිටවනු ලැබූ අධිකාරියක්. මේ වන විට විශාල නාගරික සංවර්ධනයක් සිදුවෙමින් තිබෙනවා. ඒ අනුව පෙනී යනවා පැති දෙකකින් කිසියම් ආකාරයට ජනතාවත් සමග සම්බන්ධ වීමට අවශ්‍ය බව.එකක් තමයි යම් යම් ගොඩනැගිලි අනුමත කරවා ගැනීමට අයදුම්පත් යොමු කිරීම. ඒ වගේම ඉඩම් අනුබෙදුම් ඉඩම් අනමත කරවා ගැනීමට අපවෙත එවනවා. අපි දැනට එය පරිගණක ගත කර පරිගණකය මාර්ගයෙන් අයදුම්පත‍්‍ර එවීමේ ක‍්‍රමවේදයක් ලබාදී තිබෙනවා. එය දැනට ලෝකය පුරා තිබෙන තාක්ෂණික ක‍්‍රමවේදයක්. අනෙක් පැත්තෙන් ගොඩනැගිලි සැලසුම් කරන වාස්තු විද්‍යාඥයින්ට වගේම ඉංජිනේරුවන්ට එය පහසු වනවා. ඒ වගේම එම ක‍්‍රමය මගින් දූෂණය බොහෝ දුරට වැලෙකනවා කිය අප සිතනවා. ඒ වගේම නීති විරෝධි ඉදිකිරීම්, නීතිවිරෝධි ආකාරයට සිදු කරන අනුමත කරවා ගැනීම් වැලකෙයි කියා අප විශ්වාස කරනවා.ඒ වගේම අපට සෑහෙන චෝදනා එල්ල වෙනවා තැන් තැන්වල ගොඩනැගිලි ඉදිවනවා කියලා. ඒ ඉදිවීම නිසා තමන්ගේ නිවාසවලට හානි සිදුවන බවත්, එම ප‍්‍රදේශවල මාර්ගවල තදබද ඇතිවීමත් සිදුවෙනවා. එම නිසා අප කල්පනා කලා කොළඹ දිස්ත‍්‍රික්කයේ එම පිරිස් කැඳවා එකම වහලක් යටින් එම කටයුතු සිදු කර දීමට. එය කොළඹ 07 ආකේඩ් නිදහස්මධ්‍යස්ථානයේදී ගොඩනැගිලි ඉදිකිරීම්, ඉඩම් අනුබෙදීම් හා වෙනත් අනුබෙදීම් සහ අදාල ගැටළු ඉඩම් සම්බන්ධ ගැටළු සහ අනවසර ඉදිකිරීම් සම්බන්ධ ගැටළු විසඳා ගැනීමට අපි කෙළින්ම ජනතාවට එන්න කියලා කිව්වා. ගොඩනැගිලි අයදුම්පත‍්‍රයක් යොමුකර මෙතෙක් කල් එය අනුමත වී නොමැති නම් ඒ පිළිබඳව පැමිණිලි කරන්නත්, වෙනත් ගොඩනැගිල්ලක් ඉදිකිරීම නිසා තමන්ට යම් බලපෑමක් යොමු වී තිබෙනවා නම් හෝ තමන්ගේ ප‍්‍රදේශයට බලපෑමක් වෙලා තිබෙනවා නම් ඒ ගැන පැමිණිලි ඉදිරිපත් කරන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් ගොඩනැගිලි අනුමත කිරීමේදී තවත් ආයතනවල අනුමැතීන් අවශ්‍යවන අතර එම ආයතන සියල්ලම එදිනට සහභාගී කරවා ගැනීමට අප බලාපොරොත්තු වෙනවා. එමගින් දැවී දැවී තිබෙන ගැටළු විසඳාලීමට බලාපොරොත්තු වෙනවා. එය මෙමගින් ලබාගනු ලබන අත් දැකීම් මත ඔක්තොම්බර් මාසය වන විට ලංකාවේ සෑම දිස්ත‍්‍රික්කයකම කි‍්‍රයාත්මක කරනවා. එමගින් අප බලාපොරොත්තු වෙන්නේ ජනතාවත් නාගරික සංවර්ධන අධිකාරියත් අතර හොඳ සම්බන්ධතාවයක් ඇති කර ගන්න.

අප දැක තිබෙනවා පුවත්පත්වල විශාල වශයෙන් පළවෙනවා අනවසර ඉදිකිරීම් ගැන. ඒ ගැන කතා කරන්න, විසඳුම් ලබාගන්න, සාකච්ඡා කරන්න සියළුම දෙනාට අපි ආරාධනා කරනවා මේ එළඹෙන 18 වෙනිදා උදේ 10.00 සිට සවස 6.00 දක්වා ආකේඞ් පරිශ‍්‍රයේ අප සියළු දෙනාම සිටිනවා. ජනතාවගේ සෑම ආකාරයකම ඉඩම්, ගොඩනැගිලි අනුමැතින් වගේම ඉඩම් සහ ගොඩනැගිලි ඉදිකිරීම් පිළිබඳව තමන්ට ඇතිවී තිබන ගැටළු ගැනත් අපි එහිදී විසඳුම් ලබාදීමට කටයුතු කරනවා. මෙය අපි අත්හදා බැලීමක් විදිහට කරන්නේ, මෙමගින් ලැබෙන ප‍්‍රතිචාර මත සෑම දිස්ත‍්‍රික්කයකම මේ සංවත්සරයට සමාන්තරව ජනතාවත් සමග මේ කටයුත්ත කරන්න බලාපොරොත්තු වෙනවා ” යැයි පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *