රවිරාජ් ඝාතන නඩුවෙන් නිදොස් වුවන්ට එරෙහිව නීතිපතිගෙන් අභියාචනයක්

(කොළඹ, ලංකාපුවත්) – පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතනය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි නාවික හමුදා නිලධාරීන් තුන් දෙනෙකු නිදොස් කොට නිදහස් කරමින් කොළඹ මහාධිකරණය දුන් තීන්දුව අහෝසි කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා විසින් ගොනු කර ඇති අභියාචනයෙන් අගෝස්තු මස 02 වනදා විභාගය සඳහා යළි කැඳවීමට අභියාචනාධිකරණය නියම කළේය.

මෙම අභියාචනය දීපාලි විජේසුන්දර මහත්මිය සහ අචල වෙංගප්පුලි මහතා ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවනු ලැබීය.

එහිදී එහිදී දෙපාර්ශවයේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ විනිසුරුවරු අභියාචනා විභාගය අගෝස්තු මස 02 වන දා සිදු කරන බව කියා සිටියේය.

නීතිපතිවරයා තම අභියාචනයෙන් කියා සිටින්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතනය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින විත්තිකරුවන් තුන් දෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමට ජූරි සභාවෙන් තීරණය මත කොළඹ මහාධිකරණය විසින් ගත් තීරණය නීතියට පටහැණි බවයි.

එම නිසා අදාළ විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කිරීමට 2016 වසරේ දෙසැම්බර් මස කොළඹ මහාධිකරණය ගත් තීන්දුව අහෝසි කොට විත්තිකරුවන් වරදකරුවන් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ද නීතිපතිවරයා සිය අභියාචනයෙන් ඉල්ලා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *