කොළඹ වරාය මහජනතාවට විවෘත කෙරේ

(කොළඹ, ලංකාපුවත්) –පසුගිය යුද සමයේ ආරක්ෂක හේතූන් මත කොළඹ වරාය අධි ආරක්ෂිත කලාපයක් ලෙස පවත්වාගෙන ගියත් දැනට රටේ පවතින සාමකාමී තත්ත්වය හේතු කොටගෙන මහජන දේපළක් ලෙස සලකා කොළඹ වරාය නැරඹීම සඳහා මහජනයාට විවෘත කිරීමට ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ඉදිරියේදී කටයුතු කරන බව වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසයි.

අද (18) දින පැවති ආරක්ෂක නිලධාරීන්ගේ විසිරයාමේ උත්සවයේ දී ඇමතිවරයා මේ බව පැවසීය.

ශ්‍රී ලංකා ආර්ථිකයේ හදවත ලෙස සැලකෙන කොළඹ වරාය මේ වසරේ බිලයන 13.2 ක ලාභයක් ලබාගෙන ඇති අතර එය රටේ ආර්ථික වර්ධනයට විශාල පිටිවහලක් වන අතර කොළඹ වරාය සමස්ත ජනතාවටම අයිති දේපළක් ලෙස සලකා මෙම පියවර ගත් බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

පුහුණුවෙන් පසු ආරක්ෂක නිලධාරීන් 150 දෙනෙකු විසිරයාමේ උත්සවය මහපොළ වරාය හා සමුද්‍රීය විද්‍යායතනයේ දී පැවති අතර එම අවස්ථාවට වරාය හා නාවික නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය පරාක්‍ර‍ම දිසානායක, ආරක්ෂ අධ්‍යක්ෂ මේජර් ජනරාල් ගාමිණී හෙට්ටිආරච්චි ඇතුළු නිලධාරීන් රැසක් සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *