රන්ජන් රාමනායක වෙත ආඥාවක් කෙටුම්පත් කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නීතිපතිට නියෝග

(කොළඹ, ලංකාපුවත්) –අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් දඬුවම් නොකිරීමට හේතු ඉදිරිපත් කරන්නැයි දන්වා නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා වෙත යොමු කිරීම සඳහා ආඥාවක් කෙටුම්පත් කර අධිකරණය වෙත ඉදිරිපත් කරන මෙන් ශ්‍රේෂ්ඨාධිකරණය අද (18) නීතිපතිවරයාට වෙත නියෝග කළේය.

පසුගිය වසරේ අගෝස්තු මස අග්‍රාමාත්‍යවරයා සමඟ පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව පිටතට පැමිණි රන්ජන් රාමනායක මහතා මාධ්‍යවලට අදහස් දක්වමින් මෙරට විනිශ්චකාරවරුන් සහ නීතිඥවරුන්ගෙන් බහුතරය දූෂිත පුද්ගලයින් ලෙස හඳුන්වා අධිකරණයට අපහාස කළේ යැයි ,පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් සහ විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙකු වන සුනිල් පෙරේරා විසින් ඉදිරිපත්කර තිබෙන පැමිණිලි දෙකක් අද(18) අගවිනිසුරු ප්‍රියසාත් ඩෙප් , සහ මුර්දූ ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කෙරුණි.

පැමිණිල්ල කැඳවු අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නාවාන මහතා අධිකරණයට දන්වා සිටියේ අමාත්‍ය රන්ජන් රාමනායක මහතා විසින් සිදු කළේ යැයි කියන අපහාසාත්මක ප්‍රකාශය අඩංගු වීඩියෝ පටය නිරීක්ෂණය කර ඒ තුලින් බැලූබැල්මටම අධිකරණයට අපහාසයක් සිදු වී ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණයේ සියලුම විනිසුරුවරුන් තීන්දු කර ඇතැයි සඳහන් කර සිටියේය.

මෙ අනුව ශ්‍රේෂ්ඨාධිකරණ සම්ප්‍රදායට අනුව මීළඟට පැවරී ඇත්තේ වගඋත්තරකාර නියෝජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් දඬුවම් නොකිරීමට හේතු විමසීමේ ආඥාව කෙටුම්පත් කර නීතිපතිවරයා විසින් අධිකරණය වෙත ඉදිරිපත් කිරීම බවද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියේය.
මෙ අනුව එම ඉල්ලීමට විරෝධය පළ කළ වගඋත්තරකාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්.ඒ.සුමන්දිරන් මහතා කියා සිටියේ නීතිපතිවරයා අදාළ ආඥාව කෙටුම්පත් කිරීම සම්බන්ධයෙන් තමන් විරුද්ධ වන බවත් එම ආඥාව කෙටුම්පත් කරවිය යුත්තේ සිවිල් නඩු විධාන සංග්‍රහය පැවරී ඇති ප්‍රතිපාදනවලට අනුව බවය.

කෙසේවතත් අදාළ ආඥාව කෙටුම්පත් කරන මෙන් නීතිපතිවරයාට නියම කළ ශ්‍රේෂ්ඨාධිකරණය පැමිණිල්ල නැවත ජුලි මස 30 වැනිදා කැඳවන මෙන් ද නියම කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

four × five =