සීනි භාවිතය අවම කිරිම සඳහා රසකැවිලි නිෂ්පාදනයටත් නීතිරීති

(කොළඹ, ලංකාපුවත්) – බෝනොවන රෝග වලින් මිදීම සදහා ක්‍රියාමාර්ග රැසක් ගෙන තිබෙන බවත් ඉදිරියේ දී සීනි භාවිතය අවම කිරිම සඳහා රසකැවිලි නිෂ්පාදනයටත් නීතිරීති පනවන බව සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා මේ බව ප්‍රකාශ කළේ නවක හෙඳ හෙඳියන් 1452 කට පත්වීම් ලබාදීම වෙනුවෙන් අරලියගහ මන්දිරයේ පැවැති උත්සවයකට සහභාගි වෙමිනි.

“බෝනොවන රෝග විශාල අභියෝගයක්. එමගින් සියයට 70 ක් වාර්ෂිකව මිය යන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. ඩෙංගු සහ එච්.අයි.වී වලින් ද අපි මිදෙන්න ඕනි. ඩෙංගු රෝග ව්‍යාප්තිය සියයට 50 කින් මැඩපවත්වා තිබෙනවා. ලෝකයේ කිසිම රටක් ඩෙංගු රෝගය කඩිනමින් වළක්වා නොගත් බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළා. බෝනොවන රෝග වලින් මිදීම සදහා ක්‍රියාමාර්ග රැසක් ගෙන තිබෙනවා. ඉදිරියේ දී සීනි භාවිතය අවම කිරිම සදහා රසකැවිලි නිෂ්පාදනයටත් නීතිරීති පනවනවා. දැඩි ක්‍රියාමාර්ග ගත යුතුයි. නැතිනම් සීනී, ලුණු, මේදය භාවිතය අවම වන්නේ නැහැ. ඖෂධ මිල ඉදිරියේ දී තවත් අඩු කරනවා. ඖෂධ මාෆියාවේ දුෂණ වංචා ඉවත් කළා. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඉදිරියේ දී පෞද්ගලික රෝහල් නියාමනය කරනවා. එහි සැළසුම් සකස් කර අවසන්. නමුත් වෛද්‍යවරුන්ගේ ගාස්තු අය කිරිම පිළිබද ගැටලුවක් තිබෙනවා. රුපියල් සත වලට සීමා වූ සෞඛ්‍ය සේවය නිදහස් සෞඛ්‍ය සේවයක් බවට පත් කරනවා. පත්වීම් ලාභී ඔබට අසාධාරණයක් සිදු වන්නේ නම් සෘජුවම මාව හමුවෙන්න. නිලධාරින් රාජකාරී කටයුතු ප්‍රමාද කරන්නේ නම් මට වාර්තා කරන්න යැයි ද අමාත්‍යවරයා පැවසීය.

මෙම අවස්ථාවට පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම්, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන් වන ඩොනල්ඩ් මුරගේ, සුනිල් ද අල්විස්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්, රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ කළමණාකාර අධ්‍යක්ෂ ආචාර්ය එච්.එම්.එම් රූමි යන මහත්ම මහත්මීන් සහ පත්වීම් ලාභීන් එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *