සහල් නිෂ්පාදනය නංවන්න චන්ද්‍රිකා තාක්‍ෂණය

(කොළඹ, ලංකාපුවත්) –දේශගුණික විපර්යාස හේතුවෙන් මෙරට සහල් නිෂ්පාදනයට සිදුවන බලපෑම අවම කර ගැනීම සඳහා චන්ද්‍රිකා තාක්ෂණය යොදා ගැනීමට අවශ්‍ය තාක්ෂණික සහය ලබාදීමට සූදානම් බව අන්තර් ජාතික සහල් පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

අන්තර්ජාතික සහල් පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය Matthew Morel මහතා ඇතුළු නියෝජිත පිරිස ඊයේ (19) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා හමුවූ අවස්ථාවේදී මේ බව සඳහන් කළේය.

කලාපයේ රටවල් මුහුණ දී ඇති දේශගුණික විපර්යාසයන් සමග, ජාතික පරිභෝජනය සඳහා සහලින් ස්වයංපෝෂිතවීමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය කෙරිණි.

ශ‍්‍රී ලංකාවේ සහල් නිෂ්පාදනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට මෙන්ම පසු අස්වනු හානි අවම කර ගැනීම සඳහා නවීන තාක්ෂණික සහය ලබාදීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සමග එක්ව කටයුතු කිරීමට සූදානම් බව මෙහිදී පැවසූ අධ්‍යක්ෂ ජනරාල්වරයා සහල් නිෂ්පාදනයේ අගයදාමය ප‍්‍රවර්ධනය සඳහා ද නව තාක්ෂණික ක‍්‍රම හඳුන්වාදීමට අපේක්ෂා කරන බව කියා සිටියේය.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ පසුගිය කාල සීමාව තුළ මුහුණදීමට සිදුවූ දේශගුණික විපර්යාසයන් හේතුවෙන් මෙරට සහල් නිෂ්පාදනයේ පසුබෑමක් සිදුවූ බවයි.

එම අභියෝගයන්ට මුහුණදෙමින් ශ‍්‍රී ලංකාව සහලින් ස්වයංපෝෂිත දේශයක් බවට පත්කිරීම අරමුණ බව පැවසූ ජනාධිපතිතුමා ඒ උදෙසා නව තාක්ෂණික දැනුම මෙන්ම අත්දැකීම් කලාපයේ සෙසු රටවල් සමග හුවමාරු කර ගැනිමට අපේක්ෂා කරන බව සඳහන් කළේය.

අන්තර් ජාතික සහල් පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ පැමිණීම පිළිබඳ සිය ස්තූතිය පළ කළ ජනාධිපතිතුමා තමන් ඉදිරියේදී පිලිපීනයේ අන්තර්ජාතික සහල් පර්යේෂණායතනය නැරඹීමට එක්වීමට අපේක්ෂා කරන බව ද කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *