ණය ප්‍රශ්නය උග්‍ර වුවත් ආර්ථිකය ඉදිරියට ගෙනයනවා – අගමැති

(කොළඹ, ලංකාපුවත්) – ඩොලරයේ අගය ඉහළ යාම නිසා ණය ප්‍රශ්නය උග්‍ර වුවත් එය විසඳමින් රටේ ආර්ථිකය පෙරට ගෙන යායුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කරයි.

අග්‍රාමාත්‍යවරයා එසේ ප්‍රකාශ කළේ ඊයේ(21)බොරලැස්ගමුව සංවර්ධන කලාපය තුළ ඉදිකරන ලද විශේෂ අවශ්‍යතා සහිත දරුවන් වෙනුවෙන් මෙරට ප්‍රථම වරට ඉදිවූ කෙළිමඩල ළමා උද්‍යානය සහ ඇවිදින මං තීරුව විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වෙමිනි.

පසුගිය දිනවල ඇතිවූ සොභාවික විපත් මෙරට ආර්ථිකයේ ඉදිරි ගමනට ප්‍රබල අන්දමින් බලපෑ බව ද සඳහන් කළ අග්‍රාමාත්‍යවරයා ආර්ථිකය වැටී තිබූ අවස්ථාවක රට භාර ගත් වත්මන් රජය එම ගැටලුවලට සාර්තකව මුහුණ දෙමින් මේ වන විට රට ක්‍රමයෙන් ඉදිරියට ගෙන යමින් තිබෙන බව ද කීය.

කොළඹ නගරයේ එක් කොටසක් පමණක් දියුණු කර නගරය දියුණු යැයි පැවැසීය නොහැකි බව ද සඳහන් කළ අග්‍රාමාත්‍යවරයා සම්පූර්ණ කොළඹ නගරයට දියුණු කර මහා නගරයක් බවට පත් කිරිමට රජය කටයුතු කරමින් සිටින බව ද පැවැසීය. බදු වළින් ජනතාවට ඇති වී තිබෙන ගැටලු පිළිබඳ සොයා බලා පිළියම් යෙදීමට මුදල් ඇමැතිවරයාව දැනුවත් කර ඇති බව ද කී රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ඩොලරයේ අගය වැඩි වන විට ණය ප්‍රමාණය වැඩි වන බව ප්‍රකාශ කළේය.

වේරැස් ගඟ වැසි ජල අපවහන කළමනාකරණ හා පරසරය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ බොරලැස්ගමුව ප්‍රදේශයේ ඉදිකරන ලද කෙළිමඬල ළමා උද්‍යානය සහ ඇවිදින මංතීරුව විවෘත කිරීම අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21) සිදු කෙරිණි.

කෙළිමඬල ළමා උද්‍යානය සදහා ස්වේඡාවෙන් චිත්‍ර නිර්මාණය කිරීම වෙනුවෙන් තිළිණ ප්‍රදානය සහ ළමා නිවාස කිහිපයක් වෙනුවෙන් මූල්‍ය පරිත්‍යාගයක් ද මෙහිදී සිදු කෙරිණි.

මෙම අවස්ථාවට මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය චම්පික රණවක, හිටපු අමාත්‍ය ප්‍රේමරත්න ගුණසේකර, පළාත් සභා මන්ත්‍රී නිරෝෂන් පාදුක්ක, මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීහු ඇතුලු පිරිසක් සහභාගි වී සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *